10. 1. 10.
අත්ථත්ත සූත්රය
2285. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: භවත් ගෞතමයෙනි, කිමෙක් ද, ආත්මය ඇද්දැ? යි. මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද ආත්මය නැද්දැ? යි. දෙවනවට දු භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැගී ගියේ ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ වච්ඡගොත්ත පිරිවැජ්ජා ගිය නො බෝ වේලාවකින් භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, පුළුවුස්නා ලද්දාහු වච්ඡගොත්ත පිරිවැජ්ජාගේ පැන කුමක් හෙයින් නො විසදූසේක් දැ? යි .
ආනන්ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්ද යම් ඒ මහණ බමුණු කෙනෙක් ශාශ්වත වාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්ද, මමත් ‘ආත්මය නැද්දැ?’යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය නැතැ’යි වච්ඡගොත්ත පිරිවැජ්ජාට පැවසූයෙම් නම්, ආනන්ද, යම් ඒ මහණ බමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්ද, සියලු ධම්යෝ අනාත්මයහ යි විවසුන් නැණ ඉපදීම පිණිස මෙය මට සුදුසු වූයේ දැ? යි. වහන්ස, මෙය නොවේ ම ය. ආනන්ද, මමත් ‘ආත්මය නැද්දැ?’යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය නැතැ’යි වච්ඡගොත්ත පිරිවැජ්ජාට පැවසූයෙම් නම්, මුළා වූ වච්ඡගොත්ත පිරිවැජ්ජාට ‘පෙර මට ඒකාන්තයෙන් ආත්මය වූයේ ය, එය දැන් නැතැ’යි බෙහෙවින් මුළා වීම පිණිස වූයේ යි.
10. 1. 11.
සභිය සූත්රය
2286. එක් කලෙක ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවෝ ඤාතිකා ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි වැඩවෙසෙති. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන්ට මෙය කී ය:
භවත් කච්චානයෙනි, කිමෙක් ද සත්ත්වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ” යයි මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි. වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ” යයි භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, යම් හෙයකින් එය මහණ ගොයුම්හු විසින් නො වදාරන ලද නම් එයට හේතු කිම, ප්රත්යය කිමැ? යි.
ඇවැත්නි, “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ පැනවීමට යමෙකුත් හේතු ද යමෙකුත් ප්රත්යය ද ඒ හේතුවත් ඒ ප්රත්යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරෙන් සියල්ල ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ නම් පනවන්නෙක් “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ කවර හේතුවකින් ඔහු පනවන්නේ ද? (නො පනවන්නේ මැයි.)