10. 1. 11.
සභිය සූත්රය
2286. එක් කලෙක ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවෝ ඤාතිකා ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි වැඩවෙසෙති. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන්ට මෙය කී ය:
භවත් කච්චානයෙනි, කිමෙක් ද සත්ත්වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ” යයි මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි. වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ” යයි භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, යම් හෙයකින් එය මහණ ගොයුම්හු විසින් නො වදාරන ලද නම් එයට හේතු කිම, ප්රත්යය කිමැ? යි.
ඇවැත්නි, “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ පැනවීමට යමෙකුත් හේතු ද යමෙකුත් ප්රත්යය ද ඒ හේතුවත් ඒ ප්රත්යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරෙන් සියල්ල ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ නම් පනවන්නෙක් “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ කවර හේතුවකින් ඔහු පනවන්නේ ද? (නො පනවන්නේ මැයි.)