10. 1. 8.
ඛන්ධ සූත්රය
2283. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: භවත් ගෞතමයෙනි, කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡ, “ලෝකය ශාශ්වත ය” යි මෙය මා විසින් නො පවසන ලදි ... භවත් ගෞතමයෙනි, කිම සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡ, “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද මා විසින් නො පවසන ලදි.
භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ .... සත්ත්වයා මරණින් මතු නො ම නො වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයෙකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිමැ, ප්රත්යය කිමැ යි? භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වත ය යි දු ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයකින් මෙසේ පැවසීමෙක් නො වේ නම්, එයට හේතු කිම? ප්රත්යය කිමැ? යි.
වච්ඡ, අන්තොටු පිරිවැජ්ජෝ රූපය ආත්ම ය යි හෝ ආත්මය රූප ඇත්තකැ යි හෝ ආත්මයෙහි රූපය පවතී ය යි හෝ රූපයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. වේදනාව ආත්මය යි හෝ ... දකිත්. සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
වච්ඡ, අර්හත් සම්මාසම්බුද්ධ වූ තථාගත වනාහි රූපය ආත්මය යි නො දකී. ආත්මය රූප ඇත්තකැ යි හෝ නො දකී. ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකී. රූපයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. වේදනාව ආත්මය යි නො දකී ... සංඥාව … නො දකී ... සංස්කාර … නො දකී. විඥානය ආත්මය යි නො දකී. ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකී. ආත්මයෙහි විඥානය පවතී ය යි හෝ නො දකී. විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන්ගේ “ලෝකය ශාශ්වත යයි දු ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු මෙසේ පැවසීමක් නො වේ.
ඉක්බිති වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැඟිට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කී ය: භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය ශාශ්වත දැ? යි. වච්ඡයෙනි, ‘ලෝකය ශාශ්වත ය’ යි මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි ... භවත් මොග්ගල්ලානයෙනි, කිමෙක් ද සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ’ යයි මේ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත ය” යි හෝ ... “සත්ත්වයා මරණින් මතු නො ම නො වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයෙකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම, ප්රත්යය කිම? භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වතයයි” දු ... “සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයකින් මෙසේ පැවසීමෙක් නො වේ නම් එයට හේතු කිම? ප්රත්යය කිමැ? යි.
වච්ඡයෙනි, අන්තොටු පිරිවැජ්ජෝ “රූපය ආත්ම ය යි හෝ ආත්මය රූප ඇත්තකැ යි හෝ ආත්මයෙහි රූපය පවතී ය යි හෝ රූපයෙහි ආත්මය පවතී” යයි හෝ දකිත්. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥානය ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.