10. 1. 7.
ආයතන සූත්‍රය
2282. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීය: භවත් මොග්ගල්ලානයෙනි කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡයෙනි ‘ලෝකය ශාශ්වත ය’යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි කිම ලෝකය අශාශ්වත දැ?යි. වච්ඡයෙනි, ‘ලෝකය අශාශ්වත ය’යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය අන්තවත් දැ? යි. වච්ඡයෙනි, ‘ලෝකය අන්තවත් ය’යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය අනන්තවත් දැ?යි. වච්ඡයෙනි, ‘ලෝකය අනන්තවත් ය’යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
භවත් මොග්ගල්ලානයෙනි, කිම ඒ ම ජීවය, ඒ ම ශරීරය දැ?යි. වච්ඡයෙනි, ‘ඒ ම ජීවය, ඒ ම ශරීරය’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ජීවය අනෙකක් ද? ශරීරය අනෙකක් දැ?යි. වච්ඡයෙනි, ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු වේ’ ය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු නො වේ’ ය යන මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වෙයි’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වෙයි’ යන මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ලෝකය අන්තවත් යයි හෝ ලෝකය අනන්තවත් යයි හෝ ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි හෝ ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ” යයි හෝ යම් හෙයකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ?යි.
භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද මහණගොයුම්හු “ලෝකය ශාශ්වත යයි දු, ලෝකය අශාශ්වත යයි දු, ලෝකය අන්තවත් යයි දු, ලෝකය අනන්තවත් යයි දු, ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි දු, ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි දු, සත්ත්‍වයා මරණින් මතු වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ” යයි දු යම් හෙයෙකින් මෙසේ විසඳීමෙක් නො වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ?යි.
වච්ඡයෙනි, අන්තොටු පිරිවැජියෝ ඇස ... “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කය ... සිත “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.