10. 1. 6.
ආරාම සූත්‍රය
2281. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගීසිටි සේක් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, කොට්ඨිතයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ දැ? යි ... ඇවැත්නි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ? යි. මෙසේ පුළුවුස්නා ලද්දාහු ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි මෙය ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැ යි කියවු. ඇවැත්නි යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද නම් එයට හේතු කිම, ප්‍රත්‍ය කිමැ? යි.
ඇවැත්නි, රූපයෙහි ඇලෙන, රූපයෙහි ඇලුණු, රූපයෙහි සතුටු වූ, රූප නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද සිත් වේ. ඇවැත්නි, වේදනාවෙහි ඇලෙන, වේදනාවෙහි ඇලුණු, වේදනාවෙහි සතුටු වූ, වේදනා නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද වේ … ඇවැත්නි, සඤ්ඤායෙහි ඇලෙන ... ඇවැත්නි, සඞ්ඛාරයෙහි ඇලෙන ... ඇවැත්නි, විඤ්ඤාණයෙහි ඇලෙන, විඤ්ඤාණයෙහි ඇලුණු, විඤ්ඤාණයෙහි සතුටු වූ, විඤ්ඤාණනිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
ඇවැත්නි, රූපයෙහි නො ඇලෙන, රූපයෙහි නො ඇලුණු, රූපයෙහි සතුටු නො වූ, රූප නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, වේදනාවෙහි නො ඇලෙන, වේදනාවෙහි නො ඇලුණු, වේදනාවෙහි සතුටු නො වූ ... ඇවැත්නි, සඤ්ඤාවෙහි නො ඇලෙන ... ඇවැත්නි, සඞ්ඛාරයෙහි නො ඇලෙන ... ඇවැත්නි, විඤ්ඤාණයෙහි නො ඇලෙන, විඤ්ඤාණයෙහි නො ඇලුණු, විඤ්ඤාණයෙහි සතුටු නො වූ, විඤ්ඤාණ නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නො වදාරණ ලද නම්, එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.
ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් නයෙකුත් වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, භවයෙහි ඇලෙන, භවයෙහි ඇලුණු, භවයෙහි සතුටු වූ, භව නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
ඇවැත්නි, භවයෙහි නො ඇලෙන, භවයෙහි නො ඇලුණු, භවයෙහි සතුටු නො වූ, භව නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
ඇවැත්නි, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම් එයට අන් කරුණෙකු දු වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, උපාදානයෙහි ඇලෙන, උපාදානයෙහි ඇලුණු, උපාදානයෙහි සතුටු වූ, උපාදාන නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.