10. 1. 3.
උපගත සූත්‍රය
2278. එක්කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත්, ආයුෂ්මත් කොට්ඨිත තෙරණුවෝත් බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගීසිටි සේක්, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ සැරියුත් තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය වදාළහ:
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිම “සත්ත්‍වයා මරණින් මතු වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු වේ ය”යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු නොවේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
ඇවැත්නි කිම, “සත්ත්‍වයා මරණින් මතු වේ දැ?”යි මෙසේ පුළුවුස්නා ලද්දාහු ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ”යි කියවු ... ඇවැත්නි, කිම? “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, ඇවැත්නි “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.
ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය රූපමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය වේදනාමාත්‍රයෙකි.
ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය විඥානමාත්‍රයෙකි.
ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
10. 1. 4.
සමුදය සූත්‍රය
2279. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති ... ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. ඇවැත්නි, රූපය තතු සේ නො දන්නා නො දක්නා, රූප සමුදය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
වේදනාව තතු සේ නො දන්නා නො දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන සමුදය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
ඇවැත්නි, රූපය තතු සේ දන්නා දක්නා, රූප සමුදය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. වේදනාව තතු සේ දන්නා දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ දන්නා දක්නා, විඥාන සමුදය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. ඇවැත්නි යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු යැ. මේ ප්‍රත්‍යය යි.