10. 1. 2.
අනුරාධ සූත්රය
2277. එක්කලෙක භාග්යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට නුදුරෙහි වනකිළියෙක වෙසෙති. එකල්හි බොහෝ වූ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරාධ තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ ශ්රේෂ්ඨ ප්රාප්තියට පැමිණි යම් ඒ සත්ත්වයෙක් වේ නම් තථාගත තෙමේ ඔහු පනවන්නේ “සත්ත්වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු වේ නො ද වේ යි හෝ සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නොවේ යයි හෝ යන මේ සිවුකරුණෙහි ලා පනවා දැ” යි.
ඇවැත්නි උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ ශ්රේෂ්ඨප්රාප්තියට පැමිණි යම් ඒ සත්ත්වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ සත්ත්වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු වේ නො ද වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු නොම වේ නොම නො වේ යයි හෝ” යන මේ සිවු කරුණෙන් වෙන්ව පනවන සේකැයි. මෙසේ කීකල් හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්ට මෙය කීහ: මේ මහණ අලුත පැවිදි වූ නවකයෙක් වන. මහලු වූයේ ද බාලයෙක, අව්යත්තයෙකැ යි. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවකවාදයෙනුත් බාලවාදයෙනුත් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට අවමන් කොට හුනස්නෙන් නැගී ගියහ.
ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජන් ගිය නොබෝ වේලාවෙකින් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙබඳු සිතෙක් විය: ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතු මා පැන පුළුවුස්නාහු නම් මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට කෙසේ විසඳන්නෙම් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෙකු වන්නෙම් ද, භාග්යවතුන් වහන්සේට අභූතයෙන් නො ද ගරහා කියන්නෙම් ද, දහමට ද අනුදහමක් පවසන්නෙම් ද කරුණු සහිත කිසිවාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ දැ යි. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ: එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්යවතුන් වහස්සේට මෙය සැලකළහ.
වහන්ස, මෙහි මම භාග්යවතුන් වහන්සේට නුදුරෙහි වනකිළියක වෙසෙමි. වහන්ස, එකල්හි බොහෝ වූ අන්තොටු පිරිවැජ්ජෝ මා වෙත එළඹියහ. එළඹ මා සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. වහන්ස එකත්පස්ව හුන් අන්තොටු පිරිවැජ්ජෝ මට මෙය කීහ: ඇවැත්නි, අනුරාධයෙනි, උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ ශ්රේෂ්ඨප්රාප්තියට පැමිණි යම් මේ සත්ත්වයෙක් වේ නම් ඔහු පනවන තථාගත තෙමේ “සත්ත්වයා මරණින් මතු වේ යයි හෝ ... සත්ත්වයා මරණින් මතු නොම වේ නොම නො වේ යයි” හෝ යන මේ සිවු කරුණෙහි ලා පනවා දැ යි. වහන්ස, එසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මම මෙය කීයෙමි. ඇවැත්නි උත්තම පුරුෂ වූ පරමපුරුෂ වූ ශ්රේෂ්ඨ ප්රාප්තියට පැමිණි යම් මේ සත්ත්වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ “සත්ත්වයා මරණින් මතු වේයයි හෝ සත්ත්වයා මරණින් මතු නො ම වේ යයි ... නො ම නො වේ යයි” හෝ යන මේ සිවු කරුණෙන් වෙන්ව පනවති යි.
වහන්ස මෙසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ මට මෙය කීහ. ‘මේ මහණ අලුත පැවිදි වූ නවකයෙක් වන. මහලු වූයේ නමුත් බාලයෙක, අව්යක්තයෙකැ’යි. වහන්ස ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවක වාදයෙනුත්, බාල වාදයෙනුත් මට අවමන් කොට හුනස්නෙන් නැඟී ගියහ. වහන්ස, ඒ අන්තොටු පිරිවැජ්ජන් ගිය නොබෝ වේලාවකින් මට මෙබඳු සිතෙක් විය: ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතු මා පැන පුළුවුස්නාහු නම්, මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට කෙසේ විසඳන්නෙම් භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක් කියන්නෙකුත් වන්නෙම් ද, භාග්යවතුන් වහන්සේට අභූතයෙන් නො ද ගරහා කියන්නෙම් ද, දහමට ද අනුදහමක් පවසන්නෙම් ද, කරුණු සහිත කිසි වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ දැ? යි.
අනුරාධ, ඒ කිමැයි හඟිවු ද? රූප නිත්ය වේ ද, නොහොත් අනිත්ය වේ දැ යි. වහන්ස අනිත්ය ය. යමක් අනිත්ය වේ නම්, එය දුක් වේ ද, නොහොත් සුව වේ දැ යි. වහන්ස දුක් වෙයි. යමක් අනිත්ය වේ නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් තෙල ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම’ යයි දක්නට සුදුසු වේ දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. වේදනාව නිත්ය වේ ද, නොහොත් අනිත්ය වේ ද ... සංඥාව ... සංස්කාර … විඥානය නිත්ය වේ ද, නොහොත් අනිත්ය වේදැ යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම්, එය දුක් වේ ද, නොහොත් සුව වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් එය ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’ යි දක්නට සුදුසු වේ දැ යි. වහන්ස මෙය නොවේ ම ය.