10. 1. 1.
ඛේමා සූත්රය
2276. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ඛේමා මෙහෙණ කොසොල් දනව්වෙහි සැරිසරන්නී සැවැත්නුවරටත්, සාකේතනුවරටත් අතර තොරණවත්ථුගම්හි විසීමට පැමිණියා වෙයි. එකල්හි පසේනදී කොසොල්රජ සාකේතයෙන් සැවැතට යන්නේ සාකේතයටත්, සැවතටත් අතර තොරණවත්ථුගම්හි එක්රැයක් විසීමට පැමිණියේ ය. එකල පසේනදී කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය “එව මම අද යමකු ඇසුරු කරන්නෙම් නම් තෝ එබඳු මහණකු හෝ බමුණකු හෝ තොරණවත්ථුවෙහි දනුව”යි.
එසේ ය දේවයන් වහන්සැ යි ඒ පුරිස් තෙමේ පසේනදී කොසොල් රජුට පිළිතුරු දී මුළු තොරණවත්ථුවෙහි ඇවිදින්නේ පසේනදි කොසොල් රජ යමකු ඇසුරු කරන්නේ නම් එබඳු මහණකු හෝ බමුණකු හෝ නො දැක්කේය. ඒ පුරිස් තෙමේ තොරණවත්ථුවෙහි වාසයට එළඹි ඛේමා මෙහෙණ දිටී. දැක පසේනදි කොසොල් රජු වෙත එළඹියේ ය. එළඹ පසේනදි කොසොල් රජහට මෙය සැලකෙළේ ය: “දේවයන් වහන්ස, දේවයන් වහන්සේ යමකු ඇසුරු කරන සේක් නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ තොරණවත්ථුවෙහි නැත. දේවයන් වහන්ස, ඒ භාග්යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්රාවිකා වූ ඛේමා නම් මෙහෙණක් ඇත. ‘පණ්ඩිත ය ව්යක්ත ය නුවණැත්තීය බහුශ්රුත ය විසිතුරු කතා ඇත්තී ය. මැනවින් වැටහෙන නුවණ ඇත්තී ය’යි ඒ ආර්ය්යාවගේ මෙබඳු කලණ කිතුගොසෙක් පැන නැංගේ ය. දේවයන් වහන්සේ ඇය ඇසුරු කරන සේක්වා යි.
එකල්හි පසේනදී කොසොල් රජ ඛේමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ඛේමා මෙහෙණ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් පසේනදි කොසොල්රජ ඛේමා මෙහෙණහට මෙය කී ය: ආර්ය්යාවෙනි, කිමෙක් ද සත්ත්වයා මරණින් මතු වේ දැ යි. මහරජ සත්ත්වයා මරණින් මතු වෙයි යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්ය්යාවෙනි කිමෙක් ද, සත්ත්වයා මරණින් මතු නො වේ දැ යි. මහරජ සත්ත්වයා මරණින් මතු නො වෙයි යන මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්ය්යාවෙනි කිමෙක් ද සත්ත්වයා මරණින් මතු වෙයි, නො ද වේ දැ යි.මහරජ සත්ත්වයා මරණින් මතු වෙයි, නො ද වෙයි යන මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්ය්යාවෙනි කිමෙක් ද සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ දැ යි. මහරජ සත්ත්වයා මරණින් මතු නොම වෙයි, නො ම නො වෙයි යන මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
ආර්ය්යාවෙනි, කිමෙක් ද සත්ත්වයා මරණින් මතු වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී සත්ත්වයා මරණින් මතු වෙයි යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියහි, ආර්ය්යාවෙනි කිමෙක් ද සත්ත්වයා මරණින් මතු නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්වයා මරණින් මතු නො වෙයි යන මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැයි කියහි, ආර්ය්යාවෙනි, කිමෙක් ද සත්ත්වයා මරණින් මතු වෙයි නො ද වේ ද යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්වයා මරණින් මතු වෙයි නො ද වෙයි යන මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැ යි කියහි. ආර්ය්යාවෙනි, කිමෙක් ද? සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වෙයි යන මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියහි. ආර්ය්යාවෙනි යම්හෙයකින් එය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්රත්යය කිමැ?යි.
මහරජ එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහෙන්නේ නම් එසේ එය විසඳන්නහු ය.
මහරජ ඒ කිමැ යි හඟිවු ද? යමෙක් “වැලි මෙතෙකැ යි හෝ වැලි මෙතෙක් සියයකැ යි හෝ වැලි මෙතෙක් දහසකැ යි හෝ වැලි මෙතෙක් සියදහසකැ” යි හෝ ගංගා නදියෙහි වැලි ගණින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්රා තබන්නෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. ආර්ය්යාවෙනි මෙය නො වේ ම ය. යමෙක් “දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැ යි හෝ දිය ලාස් මෙතෙක් දහසකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියදහසකැ”යි හෝ මහමුහුදෙහි දිය මනින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්රා තබන්නෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. ආර්ය්යාවෙනි මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: ආර්ය්යාවෙනි මුහුද මහත් ය. ගැඹුරු ය. නො පමණ ය. නො බැසගත හැක්කේ යි.
මහරජ එසෙයින් ම පනවන්නෙක් යම් රූපයෙකින් සත්ත්වයා පනවන්නේ නම් ඒ රූපය තථාගතයන් වහන්සේට ප්රහීණ ය. උසුන් මුල් ඇත්තේ ය. හිස් සුන් තල්රුකක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ, තථාගතයන් වහන්සේ රූ පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැසගත හැකියහ, මහසමුදුර මෙනි, සත්ත්වයා මරණින් මතු වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්වයා මරණින් මතු නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්වයා මරණින් මතු වෙයි නො ද වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති.