1. 8. 7.
දුතිය අවිජ්ජා සූත්රය
80. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. … එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යමක් ප්රහාණයෙන් මහණහුගේ අවිද්යාව ප්රහීණ වේ ද, විද්යාව උපදී ද, එබඳු එක්දහමෙක් ඇද් දැ යි. මහණ, යමක් ප්රහාණයෙන් මහණහුගේ අවිද්යාව ප්රහීණ වේ නම් විද්යාව උපදී නම් එබඳු එක්දහමෙක් ඇත් මැ යි. වහන්ස, යමක් ප්රහාණයෙන් අවිද්යාව ප්රහීණ වේ නම් විද්යාව උපදී නම් එබඳු එක්දහම කවරේ දැ යි. මහණ, යමක් ප්රහාණයෙන් අවිද්යාව ප්රහීණ වේ නම් විද්යාව උපදී නම් එබඳු එක් දහම අවිද්යාව ය.
වහන්ස, කෙසේ දන්නා කෙසේ දක්නා මහණහුගේ අවිදු පැහේ ද විදු උපදී දැ යි. මහණ, මෙහි මහණහු විසින් සියලු (ත්රෛභූමක) ධර්ම (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ගන්නට සුදුසු නො වෙතැයි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් මහණහු විසින් සියලු (ත්රෛභූමක) ධර්ම (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) ගන්නට සුදුසු නො වෙතැයි මෙය අසන ලද්දේ වේ නම් හෙතෙමේ සියලු දහම් වෙසෙසින් දනී. සියලු දහම් වෙසෙසින් දැන සියලු දහම් පිරිසිඳ දනී. සියලු දහම් පිරිසිඳ දැන සියලු නිමිත් අනත් විසින් දකී. ඇස අනත් විසින් දකී. රූ අනත් විසින් දකී. චක්ඛුවිඤ්ඤාණය අනත් විසින් දකී. ඇස්පහස අනත් විසින් දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් විසින් දකී ...
මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් විසින් දකී. මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහු ගේ අවිදු පැහේ. විදු උපදී.
1. 8. 8.
සම්බහුලභික්ඛු සූත්රය
81. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකපස් ව හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, මෙහි අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ?” යි මෙසේ අප පුළුවුසිති. වහන්ස, එසේ පුළුවුස්නා ලද අපි ඒ අන්තොටු පිරිවැජ්ජනට “ඇවැත්නි, දුක පිරිසිඳ දැනගනු පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ ය” යි මෙසේ පවසමු. වහන්ස, කිමෙක් ද? එසේ පුළුවුස්නා ලද අපි මෙඅයුරින් පවසන්නමෝ භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නමෝ වමු ද? භාග්යවතුන් වහන්සේට අභූතයෙන් නො ද චෝදනා කෙරෙමු ද? දහමට ද අනුදහමක් පවසමු ද? කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතුබවට නො පැමිණේ දැ යි.
මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මෙඅයුරින් පවසන්නහු ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක් කියන්නෝ වවු. මට අභූතයෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනු දහමක් පවසවු, කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු බවට නො ද පැමිණෙයි. මහණෙනි, දුක පිරිසිඳ දැනීම පිණිස ම මා කෙරෙහි බඹසර වසනු ලැබේ. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස මහණ ගොයුම් කෙරෙහි බඹසර වසනු ලැබේ නම් ඒ දුක කවරේ දැ” යි. මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙඅයුරින් පවසන්නාහු ය.
ඇවැත්නි, ඇස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබෙ යි. රූ … ඇස්පහස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ.
දිව දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. රස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස … ජිව්හාවිඤ්ඤාණය දුක් ය … දිව්පහස දුක් ය. දිව් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ.
සිත දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. දහම් දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස … මනෝවිඤ්ඤාණය දුක් ය … මනපහස දුක් ය .... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජනට මෙ අයුරින් පවසන්නහු ය
1. 8. 9.
ලෝක සූත්රය
82. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “ලෝක ය ලෝකය යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් ලෝකය යි කියනු ලැබේ දැ” යි.