1. 8. 5.
අනත්ත සූත්‍රය
78. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … රාධ යමක් අනත් නම් එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ කුමක් අනත්ද යත්: රාධ, ඇස අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රූ අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය.
ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය.
දිව අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රස ... ජිව්හාවිඤ්ඤාණය … දිව්පහස … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. හෙ ද … සිත අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. දහම් … මනෝවිඤ්ඤාණය ... මනපහස … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ, යමක් අනත් නම් එහි ලා ඡන්‍දය පහකළ යුතු යි.
1. 8. 6.
අවිජ්ජා සූත්‍රය
79. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය . … එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහමෙක් ඇද්දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහමෙක් ඇත් ම ය. වහන්ස, යමක් ප්‍රහාණයෙන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක්දහම කවරේ දැ යි. මහණ, යමක් ප්‍රහාණයෙන් මහණහු ගේ අවිද්‍යාව ප්‍රහීණ වේ නම් විද්‍යාව උපදී නම් එබඳු එක් දහම අවිද්‍යාව ය.
වහන්ස, කෙසේ දන්නා කෙසේ දක්නා මහණහුගේ අවිදු පැහේ ද? විදු උපදී දැ? යි. මහණ, ඇස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදි යි. රූ අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. චක්ඛුවිඤ්ඤාණය අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදියි ...
දිව අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි. විදු උපදියි. රස ... ජිව්හාවිඤ්ඤාණය … දිව්පහස … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පහවෙයි. විදු උපදියි. ...
සිත අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදියි. දහම් … මනෝවිඤ්ඤාණය … මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනිස විසින් දන්නා දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදී. මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා මහණහුගේ අවිදු පැහෙයි විදු උපදි යි.