1. 7. 9.
පඨම ඡඵස්සායතන සූත්‍රය
71. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ හටගැන්මත් විනාශයත් විඳගැන්මත් දෝෂයත් නික්මයෑමත් තතු සේ නො දනී ද, ඔහු විසින් මඟබඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් දුරු වෙයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙන් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, මෙහි ලා මම නටුයෙම් වෙමි. වහන්ස, මම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිමි යි.
මහණ ඒ කුමැ යි හඟිහි ද? ඇස “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දකිහි දැ? යි. වහන්ස, එය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් ඇස “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ යි”යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ නම් දුක්හි කෙළවර (නිවන) මෙය මැ යි ...
දිව: “මෙය මා ගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිහි දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් දිව: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දී වන්නේ නම් දුක් කෙළෙවර මෙය මැ යි ...
සිත: “මෙය මා ගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිහි දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණ, මැනවි. මහණ, මෙහි ලා තා විසින් සිත: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” ය යි මෙසේ මෙය තතු සේ මනානුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ නම් දුක් කෙළවර මෙය මැ යි.
1. 7. 10.
දුතිය ඡඵස්සායතන සූත්‍රය
72. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නොවසන ලද, හේ මෙසස්නෙන් දුරු මැ වෙයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙහි ලා මම නටුයෙම් වෙමි. වහනස්, “මම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තත් සේ නො දනිමි” යි.