1. 7. 10.
දුතිය ඡඵස්සායතන සූත්‍රය
72. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නොවසන ලද, හේ මෙසස්නෙන් දුරු මැ වෙයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙහි ලා මම නටුයෙම් වෙමි. වහනස්, “මම සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදයයත් අත්‍ථගමයත් ආදීනවයත් නිස්සරණයත් තත් සේ නො දනිමි” යි.
මහණ, ඒ කුමැ, යි හඟිහි ද? ඇස “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි දක්හි දැ? යි. වහන්ස, එසේ ය. මහණ මැනවි. මහණ, මෙහි ලා තා විසින් ඇස: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මා නුවණින් මොනවට දක්නා ලද්දේ වන්නේ ද, මෙසේ තාගේ මේ පළමුවන ස්පර්‍ශායතනය මතු නූපදනා (නිවන) පිණිස ප්‍රහීණ වූයේ වන්නේ ය ...
දිව “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි දක්හි දැ? යි. වහන්ස, එසේය. මහණ මැනවි. මහණ, මෙහි ලා තා විසින් දිව: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යි මෙසේ මෙය තතු සේ මනා නුවණින් මැනවින් දක්නා ලද්දේ වන්නේ ද, මෙසේ තාගේ මේ සිව්වැනි ඵස්සායතනය මතු නූපදනා පිණිස ප්‍රහීණ වූයේ වන්නේ ය ...
සිත “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දක්හි දැ? යි. වහන්ස, එසේ ය. මහණ මැනවි. මහණ මෙහි ලා තා විසින් සිත: “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මනා නුවණින් මැනවින් දක්නා ලද්දේ වන්නේ ය. මෙසේ තාගේ මේ සවැනි ඵස්සායතනය මත්තෙහි නූපදනා පිණිස ප්‍රහීණ වූයේ වන්නේ යි.
1. 7. 11.
තතිය ඡඵස්සායතන සූත්‍රය
73. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනී ද, ඔහු විසින් බඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් බැහැරැ වූයේ ම වෙයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළ් ය: වහන්ස, “මෙහි ලා මම දැඩි සේ නටුයෙම් වෙමි. වහන්ස, මම සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් අත්‍ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිමි” යි.