1. 7. 8.
උපවාණ සූත්රය
70. එක්ලහි ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. … එකත්පස් වැ හුන් ආයුෂ්මත් උපවාණ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ධර්මය සන්දිට්ඨික (තමා විසින් දැක්ක යුතු) යැ ධර්ම ය සන්දිට්ඨික යැ යි කියනු ලැබේ. වහන්ස, ධර්මය කෙතෙකින් සන්දිට්ඨිකත් අකාලිකත් (කල් නො යවා විපාක දෙන්නේත්) ඒහිපස්සිකත් (එව බලව යි කීමට සුදුසුත්) ඕපනයිකත් (සිත්හි ලා දැරීමට සුදුසුත්) නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වේ ද? යි,
උපවාණ, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක රූපය දන්නේත් රූපරාගය දන්නේත් වෙයි. තම සන්තානයෙහි ඇති රූපයන්හි රාගය මාගේ සන්තානයෙහි රූපයන්හි රාගය ඇතැ යි දනියි. උපවාණ, මහණ ඇසින් යම් ඒ රූ දැක රූපය දන්නේත් රූපරාගය දන්නේත් වේ ද, තම සන්තානයෙහි ඇති රූපයන්හි රාගය මාගේ සන්තානයෙහි රූපයන්හි රාගය ඇතැ යි දනී ද, උපවාණ, මෙසේත් ධර්මය සන්දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි ...
උපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ දිවෙන් රස විඳ රස දන්නේත් රසරාග දන්නේත් වෙයි. තම සන්තානයෙහි ඇති රසයන්හි රාගය තමාගේ සතන්හි රසයන්හි රාගය ඇතැ යි දනියි. උපවාණ, මහණ දිවෙන් යම් ඒ රසයක් ආස්වාදනය කොට රස දන්නේත් රසරාග දන්නේත් වේ ද, තම සතන්හි ඇති රසයන්හි රාගය මාගේ සතන්හි රසරාගය ඇතැයි දනි යි. උපවාණ මෙසේත් ධර්මය සන්දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතු වේ ...
උපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ සිතින් ධර්මය දැන ධර්මය දන්නේත් ධර්මරාගය දන්නේත් වේ. තමන් තුළ ඇති ධර්මයන්හි රාගය මාගේ සතන්හි ධර්මයන්හි රාගය ඇතැ යි දනි යි. උපවාණ, මහණ තෙමේ සිතින් යම් ඒ දහමක් දැන ධර්මය දන්නේත් ධර්මරාගය දන්නේත් වේ ද, සිය සතන්හි ඇති ධර්මයන්හි රාගය මාගේ සතන්හි ධර්මයන්හි රාගය ඇතැ යි දනී ද, උපවාණ, මෙසේත් ධර්මය සන්දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි.
උපවාණ, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක රූ දන්නේත් නොද රූපරාග දන්නේත් වේ. සිය සතන්හි නැති රූපයන්හි රාගය මා සතන්හි රූපයන්හි රාගය නැතැ යි දැනගනී, උපවාණ, මහණ ඇසින් යම් රූපයක් දැක රූ දන්නේත් නො ද රූපරාග දන්නේත් වේ ද, සියසතන්හි නැති රූපයන්හි රාගය මා සතන්හි රූපයන්හි රාගය නැතැ යි දැනගනී ද, උපවාණ, මෙසේත් ධර්මය සන්දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි.
උපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ දිවෙන් රස විඳ රස දන්නේත් නො ද රසරාග දන්නේත් වෙයි. සියසතන්හි නැති රසයන්හි රාගය මා සතන්හි රාගය නැතැ යි දැනගනී. උපවාණ මහණ දිවෙන් යම් රසයන් විඳ රස දන්නේත්, නො ද රසරාග දන්නේත් වේද, සියසතන්හි නැති රසයන්හි රාගය: මා සතන්හි රසයන්හි රාගය නැතැ යි දැනගනී ද, උපවාණ, මෙසේත් ධර්මය සන්දිට්ඨිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙයි. ...
උපවාණ, නැවත අනෙකක් ද කියමි: මහණ සිතින් දහම් දැන දහම් දන්නේත් නො ද දහම්රාගය දන්නේත් වෙයි. සිය සතන්හි නැති දහම්හි රාගය මා සතන්හි දහම්හි රාගය නැතැ යි දනියි. උපවාණ, මහණ සිතින් යම් දහමක් දැන දහම් දන්නේත් නො ද දහම්රාගය දන්නේත් වේ ද, සියසතන්හි නැති දහම්හි රාගය: මා සතන්හි දහම්හි රාගය නැතැ යි දැනගනී ද, උපවාණ, මෙසේත් ධර්මය සන්දිට්ඨික අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතුත් වෙ යි.
1. 7. 9.
පඨම ඡඵස්සායතන සූත්රය
71. මහණෙනි, යම් කිසි මහණෙක් සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ හටගැන්මත් විනාශයත් විඳගැන්මත් දෝෂයත් නික්මයෑමත් තතු සේ නො දනී ද, ඔහු විසින් මඟබඹසර නො වසන ලදි. හේ මෙසස්නෙන් දුරු වෙයි.