1. 7. 1.
මිගජාල සූත්‍රය
63. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.
වහන්ස, “ඒකවිහාරී ඒකවිහාරී” (එකලා ව වසනසුලු) යයි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඒකවිහාරී වේ ද? කෙතෙකින් සදුතියවිහාරීත් (දෙවැන්නකු සමඟ වසනසුලුත්) වේ දැ? යි. මිගජාල, ඇසින් දතයුතු ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති (ක්ලේශ) කාමයෙන් යුක්ත වූ රැඳිය යුතු වූ රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරී යයි කියනු ලැබේ. මිගජාල ඉටු අරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රැඳියයුතු දිවින් දතයුතු රස ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණවනා ද, (එහි) ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි, දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැඳුමෙන් බැඳුණු මහණ තෙමේ සදුතියවිහාරි යයි කියනු ලැබේ ...
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණවනන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. තෘෂ්ණාව ඇති කල්හි දැඩිඇල්ම වේ. දැඩිඇල්ම ඇති කල්හි බැඳුම වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් බැඳුණු මහණ සදුතියවිහාරී ය යි කියනු ලැබේ.
මිගජාල, මෙසේ වසනසුලු වූ ද මහණ තෙමේ ශබ්ද රහිත වූ ඝෝෂ රහිත වූ ජනහසරින් උපදනා පවන් රහිත වූ මිනිසුන්ගේ රහස් ක්‍රියාවන්ට සුදුසු වූ එකලා ව විසුමට සුදුසු වූ වනසෙනසුන් ද වනප්‍රස්ථ (=මනුෂ්‍යෝපචාරයෙන් ඈත) සෙනසුන් ද ප්‍රාන්ත (=මනුෂ්‍යවාසයෙන් ඉතා ඈත) සෙනසුන් ද සෙවුනේ නමුදු සදුතිය විහාරී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: තෘෂ්ණාව ඔහුගේ දෙවැන්නා ය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවූවා ය. එහෙයින් සදූතිය විහාරී යයි කියනු ලැබේ.
මිගජාල, ඉටු අරමුණ වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, නොවනා ද, ගැලී නො සිටී ද, එය නොපතන නොවනන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම නො වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් නො බැඳුණු මහණ ඒකවිහාරී යයි කියනු ලැබේ ...
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳිය යුතු දිවෙන් දතයුතු රස ඇත. ඉදින් මහණ තෙමෙ එය නො පතා ද ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම් නො වේ. මිගජාල, තෘෂ්ණා බැම්මෙන් නොබැඳුණු මහණ තෙමේ ඒකවිහාරී යයි කියනු ලැබේ.
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුතු වූ රැඳියයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නොපතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නැති කල්හි දැඩිඇල්ම නො වේ. දැඩිඇල්ම නැති කල්හි බැඳුම නො වේ. මිගජාල, තෘෂ්ණා බැඳුමෙන් නොබැඳුණු මහණ තෙමේ ඒකවිහාරී ය යි කියනු ලැබේ.
මිගජාල මෙසේ වෙසෙනුලුසු මහණ ඉදිනුදු මහණුන්ගෙන් මෙහෙණන්ගෙන් උවසුන්ගෙන් උවැසියන්ගෙන් රජුන්ගෙන් රජමහා ඇමැතියන්ගෙන් තොටුවන්ගෙන් තොටුසව්වන්ගෙන් ගැවසීගන්නා ලද්දේ ග්‍රාමාන්ත සෙනසුන්හි වෙසේ ද එහෙත් ඒකවිහාරී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: තෘෂ්ණාව ඔහුගේ දෙවැන්න ය. ඔහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වූවා ය. එහෙයින් ඒකවිහාරී යයි කියනු ලැබේ යි.
1. 7. 2.
දුතිය මිගජාල සූත්‍රය
64. එකල්හි, ආයුෂ්මත් මිගජාල තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා යි.