1. 7. 2.
දුතිය මිගජාල සූත්‍රය
64. එකල්හි, ආයුෂ්මත් මිගජාල තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා යි.
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. මිගජාල, තෘෂ්ණාව හටගැනීමෙන් දුක හටගැනීම වේ යයි කියමි.
මිගජාල ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රැඳීමට සුදුසු දිවෙන් දත යුතු රස ... ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුට තෘෂ්ණාව උපදී. මිගජාල, තෘෂ්ණාව හටගැනීමෙන් දුක හටගැනීම වේ ය යි කියමි.
මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නොපතන ගුණ නොකියන, ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාල, තෘෂ්ණාව නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වේ ය යි කියමි.
මිගජාල, ... දිවෙන් දත යුතු රස ඇත. මිගජාල, ඉටුඅරමුණු වූ සිත්කලු වූ මනවඩන ප්‍රියස්වභාව ඇත කාමයෙන් යුතු වූ රැඳීමට සුදුසු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නොපතා ද, ගුණ නොකියා ද, ගැලී නොසිටී ද, එය නො පතන ගුණ නොකියන ගැලී නොසිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. මිගජාල, තෘෂ්ණාව නිරෝධයෙන් දුක්ඛනිරෝධය වේ ය යි කියමි යි. ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
ඉක්බිති ආයුෂ්මත් මිගජාල තෙරණුවෝ හුදකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂ ව වසනුවෝ යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද්ද, මඟබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර අර්‍හත්ත්‍වය ඉහාත්මයෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට (එයට) එළඹ විසූහ. ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැස නිමවන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි අවබෝධ කළහ. ආයුෂ්මත් මිගජාල තෙරුණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.