1. 5. 1.
අනිච්ච සූත්‍රය
43. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: මහණෙනි, ඇස අනිත්‍ය ය. රූප අනිත්‍ය ය. චක්ඛුවිඤ්ඤාණය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය අනිත්‍ය ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද අනිතය ය. කන ...
දිව අනිත්‍ය ය. රස අනිත්‍ය ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්‍ය ය, ජිව්හාසම්ඵස්සය අනිත්‍ය ය. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්‍ය ය. කය ...
සිත අනිත්‍ය ය, දහම් අනිත්‍ය ය, මනෝවිඤ්ඤාණය අනිත්‍ය ය, මනෝසම්ඵස්සය අනිත්‍ය ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද අනිත්‍ය ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 5. 2.
දුක්ඛ සූත්‍රය
44. මහණෙනි, සියල්ල දුක් ය ...
1. 5. 3.
අනත්ත සූත්‍රය
45. මහණෙනි, සියල්ල අනාත්ම ය ...
1. 5. 4.
අභිඤ්ඤෙය්‍ය සූත්‍රය
46. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ය ...
1. 5. 5.
පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
47. සැවැත්නුවර–
මහණෙනි සියල්ල පිරිසිඳ දත යුතු ය ...
1. 5. 6.
පහාතබ්බ සූත්‍රය
48. මහණෙනි, සියල්ල ප්‍රහීණ කළ යුතු ය ...
1. 5. 7.
සච්ජිකාතබ්බ සූත්‍රය
49. මහණෙනි, සියල්ල පසක් කළ යුතු ය ...
1. 5. 8.
අභිඤ්ඤෙය්‍ය පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
50. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ද පිරිසිඳ දත යුතු වේ ...
1. 5. 9.
උපද්දුත සූත්‍රය
51. මහණෙනි, සියල්ල උවදුරෙන් පෙළුණේ ය …
1. 5. 10.
උපස්සට්ඨ සූත්‍රය
52. මහණෙනි, සියල්ල පීඩා සහිත ය. මහණෙනි, කවර සියල්ලක් පීඩා සහිත ද යත්:
මහණෙනි, ඇස උවදුරු සහිත ය, රූපයෝ උවදුරු සහිතයහ, චක්ඛුවිඤ්ඤාණය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හේ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය. කන ...