1. 2. 6.
දුතිය නො චෙ අස්සාද සූත්රය
18. සැවැත්නුවර–
මහණෙනි, ඉදින් රූපයන්ගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්වයෝ රූපයන්හි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්ගේ ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්වයෝ රූපයන්හි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් රූපයන්හි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ රූපයන්හි කලකිරෙත්. මහණෙනි, ඉදින් රූපයන්ගේ නිස්සරණයෙක් නො වී නම් සත්ත්වයෝ රූපයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ රූපයන්ගෙන් මිදෙත්.
මහණෙනි, ඉදින් ශබ්දයන්ගේ … ගන්ධයන්ගේ … රසයන්ගේ … ස්ප්රෂ්ටව්යයන්ගේ … ධර්මයන්ගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්වයෝ ධර්මයන්හි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ධර්මයන්ගේ ආස්වාදයෙක් ඇද්ද එහෙයින් සත්ත්වයෝ ධර්මයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් ධර්මයන්ගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්වයෝ ධර්මයන්හි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම්හෙයෙකින් ධර්මයන්ගේ ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ ධර්මයන්හි කලකිරෙත්. මහණෙනි, ඉදින් ධර්මයන්ගේ නිස්සරණයෙක් නො වී නම් සත්ත්වයෝ ධර්මයන්ගෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ධර්මයන්ගේ නිස්සරණයෙක් ඇද්ද එහෙයින් සත්ත්වයෝ ධර්මයන්ගෙන් මිදෙත්.
මහණෙනි, සත්ත්වයෝ යම් තාක් මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද හෙයින් ද, ආදීනවය ආදීනව හෙයින් ද නිස්සරණය නිස්සරණ හෙයින් ද තතුසේ නො දත්තාහු වෙත් ද මහණෙනි, සත්ත්වයෝ ඒතාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබුමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු විගතමර්ය්යාදා කළ සිතින් යුක්ත ව නො ම විසූහ.
මහණෙනි, සත්ත්වයෝ යම් කලෙක මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද හෙයින් ද ආදීනවය ආදීනව හෙයින් ද නිස්සරණය නිස්සරණ හෙයින් ද තතුසේ දත්තාහු වෙත් ද, මහණෙනි, එකල්හි සත්ත්වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු මර්ය්යාදා රහිත කරන ලද සිතින් යුක්ත ව වෙසෙති යි.
1. 2. 7.
අභිනන්ද සූත්රය
19. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් ඇස පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් කන පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් නැහැය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුණේ ය යි කියමි. යමෙක් දිව පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි. යමෙක් කය පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් සිත පිළිගනී නම් හෙතෙම දුක පිළිගනියි. යමෙක් දුක පිළිගනී නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.
මහණෙනි, යමෙක් ඇස නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් කන නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් නැහැය නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් දිව නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් කය නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් සිත නො පිළිගනී නම් හෙතෙම දුක නො පිළිගනියි. යමෙක් දුක නො පිළිගනී නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි.
1. 2. 8.
දුතිය අභිනන්ද සූත්රය
20. සැවැත්නුවර–
මහණෙනි, යමෙක් රූප අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ යයි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා කරයි. යමෙක් දුක අභිනන්දනා කෙරේ නම් හෙතෙම දුකින් නො මිදුනේ ය යි කියමි.
මහණෙනි, යමෙක් රූප අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි. යමෙක් ශබ්ද … ගන්ධ … රස … ස්පර්ශ … ධර්ම අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනා නො කරයි. යමෙක් දුක අභිනන්දනා නො කෙරේ නම් හෙතෙම දුකින් මිදුනේ ය යි කියමි යි.