2. යමක වර්‍ගය
1. 2. 1.
සම්බොධ සූත්‍රය
13. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර මැ සම්බුදු නො වූ බෝසත් වූ මැ මට මෙබඳු සිතෙක් වි ය: ඇසෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, කනෙහි ආස්වාදය කිමෙක් ද, … නැහැයෙහි ආස්වාදය කිමෙක් ද, … දිවෙහි ආස්වාදය කිමෙක් ද, … කයෙහි ආස්වාදය කිමෙක් ද, … සිතෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
මහණෙනි, මට මෙබඳු සිතෙක් විය: ඇස නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ඇසේ ආස්වාද යි. යම් ඇසෙක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ ඇසේ ආදීනව යි. ඇසෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ඇසේ නිස්සරණ යි. කන නිසා යම් … නැහැය නිසා යම් … දිව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ දිවේ ආස්වාද යි. යම් දිවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ දිවේ ආදීනව යි. දිවේ යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ දිවේ නිස්සරණ යි. කය නිසා යම් … සිත නිසා යම් සුවයෙක් සොම්නසෙක් වේ නම් මේ සිතේ ආස්වාද යි. යම් සිතක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ සිතේ ආදීනව යි. සිතේ යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ සිතේ නිස්සරණ යි.
මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි නො ම පිළින කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතු සේ අවබෝධ කෙළෙම් නම් මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵලසමාධිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය යි. දැන් නැවත ඉපදීමෙක් නැතැ යි.
1. 2. 2.
දුතිය සම්බොධ සූත්‍රය
14. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්බුදු නො වූ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය:
රූපයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, ශබ්දයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ගන්‍ධයන්ගේ ආස්වාදය කිමෙක් ද, ... රසයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ධර්‍මයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
මහණෙනි, මට මෙබඳු සිතෙක් විය:
රූපයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයන්ගේ ආස්වාද යි. යම් රූප කෙනෙක් අනිත්‍ය නම් දුක් නම් අනාත්ම නම් මේ රූපයන්ගේ ආදීනව යි. රූපයන්හි යම් ඡන්‍දරාගය දුරැලීමෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ රූපයන්ගේ නිස්සරණ යි. ශබ්දයන් නිසා යම් … ගන්‍ධයන් නිසා යම් … රසයන් නිසා යම් … ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා යම් … ධර්‍මයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ධර්‍මයන්ගේ ආස්වාද යි. යම් ධර්‍ම කෙනෙක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ ධර්‍මයන්ගේ ආදීනව යි. ධර්‍මයන්හි යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ධර්‍මයන්ගේ නිස්සරණ යි.
මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් බාහිර ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් ... දත්තෙම් නම් මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනය පහළ විය. මාගේ අර්‍හත්ඵල සමාධිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාති යි. දැන් නැවත ඉපදීමෙක් නැති යි.