1. 2. 4.
දුතිය අස්සාදපරියේසන සූත්රය
16. සැවැත්නුවර–
මහණෙනි, මම රූපයන්ගේ ආස්වාදය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. රූපයන්ගේ ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම රූපයන්ගේ ආදීනවය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. රූපයන්ගේ ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම රූපයන්ගේ නිස්සරණය සෙවීමෙහි යෙදුනෙමි. රූපයන්ගේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. රූපයන්ගේ නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ශබ්දයන්ගේ … මහණෙනි, මම ගන්ධයන්ගේ … මහණෙනි, මම රසයන්ගේ … මහණෙනි, මම ස්ප්රෂ්ටව්යයන්ගේ … මහණෙනි, මම ධර්මයන්ගේ ආස්වාදය සෙවීමෙහි යෙදුනෙමි. ධර්මයන්ගේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි: ධර්මයන්ගේ ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ධර්මයන්ගේ ආදීනවය සෙවීමෙහි යෙදුනෙමි. ධර්මයන්ගේ යම් අදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ධර්මයන්ගේ ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ධර්මයන්ගේ නිස්සරණය සෙවීමෙහි යෙදුනෙමි. ධර්මයන්ගේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. ධර්මයන්ගේ නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, යම් තාක් මම මේ බාහිර ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වසයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තෙම් ද, … දත්තෙම් ද, … මට ඥානදර්ශනය පහළ විය. මාගේ අර්හත්ඵලවිමුක්තිය අකෝප්ය ය. මේ අන්තිම ජාති යි. දැන් පුනර්භවයෙක් නැති යි.
1. 2. 5.
නො චෙ අස්සාද සූත්රය
17. සැවැත්නුවර–
මහණෙනි, ඉදින් ඇසෙහි ආස්වාදයෙක් නො වී නම් මේ සත්ත්වයෝ ඇසෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ ඇසෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් ඇසෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්වයෝ ඇසෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ ඇසෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් ඇසෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්වයෝ ඇසින් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් ඇසෙහි නිස්සරණයෙක් ඇද්ද එහෙයින් සත්ත්වයෝ ඇසින් මිදෙති.
මහණෙනි, ඉදින් කනෙහි (ආස්වාදයෙක්) නොවී නම් … මහණෙනි, ඉදින් නැහැයෙහි (ආස්වාදයක්) නොවී නම් … මහණෙනි, ඉදින් දිවෙහි (ආස්වාදයෙක්) නොවී නම් සත්ත්වයෝ දිවෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි ආස්වාදයයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ දිවෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් දිවෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්වයෝ දිවෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ දිවෙහි කලකිරෙත්. මහණෙනි, ඉදින් දිවෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්වයෝ දිවෙන් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් දිවෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ දිවෙන් මිදෙති.
මහණෙනි, ඉදින් කයෙහි (අස්වාදයෙක්) නොවී නම් … මහණෙනි, ඉදින් සිතේ ආස්වාදයක් නො වී නම් සත්ත්වයෝ සිතෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ සිතෙහි ඇලෙති. මහණෙනි, ඉදින් සිතෙහි ආදීනවයෙක් නො වී නම් සත්ත්වයෝ සිතෙහි නො කලකිරෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ සිතෙහි කලකිරෙත්. මහණෙනි, ඉදින් සිතෙහි නිස්සරණයෙක් නො වී නම් සත්ත්වයෝ සිතින් නො මිදෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් සිතෙහි නිස්සරණයෙක් ඇද්ද, එහෙයින් සත්ත්වයෝ සිතින් මිදෙති.
මහණෙනි, යම් තාක් සත්ත්වයෝ මේ ආධ්යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තාහු ද, මහණෙනි ඒ තාක් සත්ත්වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාවෙන් නික්මගියාහු වෙන් වූවාහු මිදුනාහු ක්ලේශ වර්ත සඞ්ඛ්යාත මර්ය්යාදා ඉක්ම වූ සිතින් යුක්තව නො ම විසූහ.
මහණෙනි, යම්කලෙක සත්ත්වයෝ මේ ආධ්යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ දත්තාහු ද, මහණෙනි, එකල්හි සත්ත්වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙන් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාවෙන් නික්ම ගියාහු වෙන් වූවාහු මිදුනාහු ක්ලේශ වර්ත මර්ය්යාදා ඉක්මවූ සිතින් යුක්ත ව වෙසෙති යි.