1. 2. 2.
දුතිය සම්බොධ සූත්රය
14. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්බුදු නො වූ බෝසත් වූ ම මට මෙබඳු සිතෙක් විය:
රූපයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, ශබ්දයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ගන්ධයන්ගේ ආස්වාදය කිමෙක් ද, ... රසයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ස්ප්රෂ්ටව්යයන්ගේ ආස්වාදය කිමෙක් ද, … ධර්මයන්ගේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
මහණෙනි, මට මෙබඳු සිතෙක් විය:
රූපයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයන්ගේ ආස්වාද යි. යම් රූප කෙනෙක් අනිත්ය නම් දුක් නම් අනාත්ම නම් මේ රූපයන්ගේ ආදීනව යි. රූපයන්හි යම් ඡන්දරාගය දුරැලීමෙක් ඡන්දරාග ප්රහාණයෙක් වේ නම් මේ රූපයන්ගේ නිස්සරණ යි. ශබ්දයන් නිසා යම් … ගන්ධයන් නිසා යම් … රසයන් නිසා යම් … ස්ප්රෂ්ටව්යයන් නිසා යම් … ධර්මයන් නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ධර්මයන්ගේ ආස්වාද යි. යම් ධර්ම කෙනෙක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ ධර්මයන්ගේ ආදීනව යි. ධර්මයන්හි යම් ඡන්දරාග විනයෙක් ඡන්දරාග ප්රහාණයෙක් වේ නම් මේ ධර්මයන්ගේ නිස්සරණ යි.
මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් බාහිර ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් ... දත්තෙම් නම් මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්රජාවෙහි නිරුත්තර වූ සම්යක්සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්ශනය පහළ විය. මාගේ අර්හත්ඵල සමාධිය අකෝප්ය ය. මේ අන්තිම ජාති යි. දැන් නැවත ඉපදීමෙක් නැති යි.
1. 2. 3.
අස්සාද පරියේසන සූත්රය
15. සැවැත්නුවර–
මහණෙනි, මම ඇසෙහි ආස්වාදය සෙවීම කළෙමි. ඇසේ යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආස්වාදය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ ආදීනවය සෙවීම කළෙමි. ඇසේ යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. ඇසේ ආදීනවය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම ඇසේ නිස්සරණය සෙවීම කෙළෙමි. ඇසේ යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. ඇසේ නිස්සරණය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, මම කනෙහි … මහණෙනි, මම නැහැයෙහි … මහණෙනි, මම දිවෙහි ආස්වාදය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. දිවෙහි ආස්වාදය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම දිවෙහි ආදීනවය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. දිවෙහි ආදීනවය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම දිවෙහි නිස්සරණය සොයාලීම කෙළෙමි. දිවෙහි යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. දිවෙහි නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, කයෙහි … මහණෙනි, මම සිතෙහි ආස්වාදය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් ආස්වාදයෙක් වේ නම් එය අවබෝධ කළෙමි. සිතෙහි ආස්වාදය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම සිතෙහි ආදීනවය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් ආදීනවයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. සිතෙහි ආදීනවය යම්තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේය. මහණෙනි, මම සිතෙහි නිස්සරණය සොයාලීම කෙළෙමි. සිතෙහි යම් නිස්සරණයෙක් වේ නම් එය අවබෝධ කෙළෙමි. සිතෙහි නිස්සරණය යම් තාක් වේ නම් මා විසින් එය නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, යම් තාක් මම මේ ආධ්යාත්මික ෂඩායතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතුසේ නො දත්තෙම් ද … දත්තෙම් ද මට ඥානදර්ශනය පහළ විය. මාගේ අර්හත්ඵලවිමුක්තිය අකෝප්ය ය. මේ පැසුළු භවය යි. දැන් පුනර්භවයෙක් නැති යි.