1. 19. 9.
වීණොපම සූත්‍රය
246. මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි සිතේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ දෝසයෙක් හෝ මෝහයෙක් හෝ පටිඝයෙක් හෝ උපදනේ නම් එයින් සිත වළක්වන්නේ ය. මේ මඟ බිය සහිත ද ප්‍රතිභය සහිත ද කටු සහිත ද ගහන සහිත ද නොමගෙක් ද නපුරු මඟෙක් ද දුක්පැවතුම් ඇත්තෙක් ද වෙයි. මේ මඟ අසත්පුරුෂයන් විසින් සෙවුනා ලද්දේ ය. මේ මඟ සත්පුරුෂයන් විසින් නො ද සෙවුනා ලද්දේ ය. තෙපි මෙයට නුසුදුස්සහු යයි ඒ ඇසින් දත යුතු රූපයන්ගෙන් සිත වළක්වන්නේ ය.
මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ කනින් දත යුතු සදෙහි ... නැහැයෙන් දත යුතු ගඳෙහි ... දිවින් දත යුතු රසෙහි ... කයින් දත යුතු පහස්හි ... සිතින් දත යුතු දහම්හි සිතේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ දෝසයෙක් හෝ මෝහයෙක් හෝ පටිඝයෙක් හෝ උපදනේ නම් එයින් සිත වළක්වන්නේ ය. මේ මඟ බිය සහිත ද පටිහය සහිත ද කටු සහිත ද ගහන සහිත ද නොමඟෙක් ද නපුරුමඟෙක් ද දුක් පැවතුම් ඇත්තෙක් ද වේ. මේ මඟ අසත්පුරුෂයන් විසින් නො ද සෙවුනා ලද්දේ ය. තෙපි මෙයට නුසුදුසු වහු යයි ඒ සිතින් දත යුතු දහමින් සිත වළහන්නේ ය.
මහණෙනි, යම්සේ සරු ගොයමෙක් වේ ද ගොයම රක්නාත් පමා වූයේ වේ ද, ගොයම් කන ගොණෙක් ඒ ගොයමට බැස ඇතිතාක් මදයට පැමිණෙන්නේ ය. මහණෙනි, එසෙයින් ම අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ ස්පර්‍ශායතන සයෙහි සංවර රහිත වූයේ පඤ්චකාමගුණයන් හි ඇතිතාක් මදයට පැමිණෙයි. මහණෙනි, යම්සේ සරුගොයමෙක් වේ ද, ගොයම රක්නාත් නො පමා වූයේ ද, ගොයම් කන ගොණෙක් ඒ ගොයමට බස්නේ ය. ගොයම රක්නා තෙල ගොනු නැහැයෙහි දැඩි කොට ගන්නේ ය. නැහැයෙහි දැඩිකොට ගෙන දෙ අං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළන්නේ ය. දෙ අං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළා දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළන්නේ ය. දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළා හැර දමන්නේ ය.
මහණෙනි, දෙවන වට දු ... මහණෙනි, තෙවනවට දු ගොයම් කන ගොණා ඒ ගොයමට බස්නේ ය. ගොයම රක්නා තෙල ගොනු නැහැයෙහි දැඩි කොට ගන්නේ ය. නැහැයෙහි දැඩි කොට ගෙන දෙඅං අතරෙහි දැඩි පෙළුම් කොට පෙළන්නේ ය. දෙඅං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළා දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළන්නේ ය. දණ්ඩෙකින් දැඩිතැළුම් කොට තළා හැර දමන්නේ ය. මහණෙනි, මෙසේ ඒ ගොයම් කන ගොණා ගමකට ගියේ හෝ අරණකට ගියේ හෝ සිටුම් බහුල කොට ඇත්තේ හිඳුම් බහුල කොට ඇත්තේ වන්නේ ය. ඒ පළමු දඬුපහස ම සිහි කරනුයේ ඒ ගොයමට නැවත නො බස්නේ ය. මහණෙනි, එසෙයින් ම යම්කලෙක මහණහුගේ සිත ස්පර්‍ශායතන සයෙහි තර්‍ජනය කරන ලද්දේ දැඩිසේ තර්‍ජනය කරන ලද්දේ වේ ද, (එකල්හි) ඇතුළත සිටියි, හිඳියි, එකඟවෙයි, සමාධිගත වෙයි.
මහණෙනි, යම්සේ රජකු විසින් හෝ රාජමහාමාත්‍රයකු විසින් හෝ වීණාවෙහි හඬ නො ඇසූවිරූ වන්නේ ද හෙතෙමේ වීණාහඬක් අසන්නේ ය. හෙතෙමේ පින්වත්නි, මෙසේ ඇලුම් කට යුතු මෙසේ කැමති වියයුතු මෙසේ මදයට කරුණු වූ මෙසේ මුළාවට කරුණු වූ මෙසේ බැඳීමට කරුණු වූ මේ හඬ කුමක් දැ? යි මෙසේ කියන්නේ ය. ඒ මොහුට ස්වාමීනි, යමෙක වූ මේ හඬ මෙසේ ඇලුම් කටයුතු මෙසේ කැමති වියයුතු මෙසේ මදයට කරුණු මෙසේ මුළාවට කරුණු මෙසේ බැඳීමට කරුණු වේ නම් මෙය වීණා නමැ යි.
හෙතෙමේ පින්වත්නි, යවු ඒ වීණාව මට ගෙනෙවු යයි මෙසේ කියන්නේ ය. ඔහුට ඒ වීණාව ගෙන එන්නාහු ය. ඒ මොහුට ස්වාමීනි, මෙසේ ඇලුම් කටයුතු මෙසේ කැමති විය යුතු මෙසේ මදයට කරුණු වූ මෙසේ මුළාවට කරුණු වූ මෙසේ බැඳීමට කරුණු වූ මේ හඬ යමක නම් මේ ඒ වීණාව යයි මෙසේ කියන්නාහු ය.