1. 19. 10.
ඡප්පාණක සූත්‍රය
247. මහණෙනි, යම්සේ වණසහිත සිරුරු ඇති පැස වූ සිරුරු ඇති පුරුෂයෙක් කටුවනයකට පිවිසෙන්නේ ද කුසකටු දා ඔහුගේ පා විදුනේ ය. කටු සහිත පත් ද සිරුරු සූරන්නේ ය. මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමේ ඒ හේතු කොට ගෙන දුක් දොම්නස් විඳුනේ ය. මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ගමකට ගියේ හෝ අරණකට ගියේ හෝ “ඒ මේ ආයුෂ්මත් තෙමේත් මෙසේ කරන්නේ මෙබඳු හැසුරුම් ඇත්තේ අපිරිසිදු ගම්කටුවකැ”යි නුගුණ කියන්නකු ලබයි. ඔහු කටුවකැ යි මෙසේ දැන සංවරය ද අසංවරය ද දත යුත්තේ ය.
මහණෙනි, කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මඳ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.
කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මඳ සිත් ඇත්තේත් වෙසෙයි, ඔහුට උපන් ලාමක අකුසල්දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා සතුන් සදෙනකුන් ගෙන දැඩි රැහැනකින් බඳනේ ද; නයකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. කිඹුලකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. පක්‍ෂියකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. ශුනකයකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. සිවලකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. වඳුරකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. දැඩි රැහැනකින් බැඳ මැද ගැටයක් කොට අත්හරනේ ය. මහණෙනි, එකල්හි වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ඒ සත්තු සදෙන සිය සිය ගොදුරුබිම් හා වෙසෙන තැන් කරා අදනාහ.
තුඹසට පිවිසෙන්නෙමි යි නයා අදනේ ය. දියට පිවිසෙන්නෙමි යි කිඹුලා අදනේ ය. අහසට නගින්නෙමි යි පක්‍ෂියා අදනේ ය. ගමට පිවිසෙන්නෙමි යි ශුනකයා අදනේ ය. සොහොනට පිවිසෙන්නෙමි යි සිවලා අදනේ ය. වනයට පිවිසෙන්නෙමි යි වඳුරා අදනේ ය. මහණෙනි, යම් කලෙක ඒ සත්තු සදෙන වෙහෙසට පත් වූවෝ ක්ලාන්ත වූවෝ වන්නාහු ද, එකල්හි ඔවුනතුරෙන් යමෙක් ඉතා බලවත් වන්නේ නම් ඔහු ඔහුට අනුව පවත්නාහු ය. අනුව යන්නාහු ය. වයසට පැමිණෙන්නාහු ය.
මහණෙනි, එසෙයින් ම යම්කිසි මහණකු විසින් කාගියාසිහිය නො වඩනා ලද නම් පුනපුනා නොවඩනා ලද නම් ඇස ඔහු මනවඩනා රූහි අදියි. නො මනවඩනා රූ ඔහුට පිළිකුල් වේ. කන මනවඩනා සදෙහි අදී. නො මනවඩනා සද ඔහුට පිළිකුල් වේ. නැහැය මනවඩනා ගඳෙහි අදී. නො මනවඩනා ගඳ ඔහුට පිළිකුල් වේ. දිව මනවඩනා රසෙහි අදී. නො මනවඩනා රස ඔහුට පිළිකුල් වේ. කය මනවඩනා පහස්හි අදී. නො මනවඩනා පහස් ඔහුට පිළිකුල් වේ. සිත මනවඩනා දහම්හි අදියි. නො මනවඩනා දහම් ඔහුට පිළිකුල් වේ. මහණෙනි, මෙසේ අසංවර වේ.
මහණෙනි, කෙසේ නම් සංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි නො ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි නො කිපෙයි. එළඹසිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඳාවත් තතුසේ දනී.