1. 19. 11.
යවකලාපී සූත්‍රය
248. මහණෙනි, යම්සේ යවමිටියක් සිවුමංසලක දමන ලද්දේ වන්නේ ද එකල්හි පුරුෂයෝ සදෙනෙක් කත්ලී ගත් අත් ඇති ව පැමිණෙන්නාහ. ඔහු ඒ යවමිටිය කත්ලී සයෙන් තළන්නාහ. මහණෙනි, මෙසේ ඒ යවමිටිය කත්ලී සයෙන් තළනු ලබන්නේ මැනවින් තළන ලද්දේ වන්නේ ය. එකල්හි කත්ලීයක් ගත් අත් ඇති සත්වන පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළන්නේ ය. මහණෙනි, මෙසේ ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළනු ලබන්නේ අතිශයින් ම මැනවින් තළන ලද්දේ වන්නේ ය.
මහණෙනි, එසෙයින් ම අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මනවඩන නො වඩන රූ විසින් ඇසෙහි පෙළේ. මනවඩන නො වඩන සද විසින් කනෙහි පෙළේ. මනවඩන නො වඩන ගඳ විසින් නැහැයෙහි පෙළේ. මනවඩන නො වඩන රස විසින් දිවෙහි පෙළේ. මනවඩන නො වඩන පහස් විසින් කයෙහි පෙළේ. මනවඩන නො වඩන දහම් විසින් සිතෙහි පෙළේ.
මහණෙනි, ඉදින් ඒ අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මතු පුනර්‍භවය පිණිස සිතා නම් මහණෙනි, මෙසේ ඒ හිස් පුරුෂ තෙමේ අතිශයින් ම මැනවින් පෙළන ලද්දේ වේ. මහණෙනි, ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළනු ලබන්නේ යම්සේ නම් එමෙනි.
මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් එළඹසිටියේ විය: මහණෙනි, එකල්හි වේපචිත්ති අසුර රජ අසුරයන් ඇමතී ය: “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් එළඹ සිටි කල්හි ඉදින් අසුරයෝ දිනන්නාහු නම් දෙවියෝ පරදින්නාහු නම් ඒ සක්දෙව් රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ අසුරපුරයෙහි මා වෙත ගෙන එන්නහු ය”යි. මහණෙනි, සක්දෙව්රජ ද තව්තිසා දෙවියන් ඇමතී ය: “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් එළඹ සිටි කල්හි ඉදින් දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් ඒ වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ සුදම්දෙව්සෙබෙහි මා වෙත ගෙන එන්නහු ය” යි. මහණෙනි, ඒ යුද්ධයෙහි දී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ සුදම් දෙව්සෙබෙහි සක්දෙව් රජු වෙත ගෙන ආහ. මහණෙනි, එහි වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බඳනා ලද්දේ වෙයි. මහණෙනි, යම්කලෙක වේපචිත්ති අසුර රජහට “දෙවියෝ දැහැමියහ. අසුරයෝ නො දැහැමියහ. මම දැන් මෙහි දී ම දෙව්පුරයට යෙමි”යි මෙබඳු සිතෙක් වේ ද, එකල්හි ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් මිදුණු තමා දකී. දෙව්මුවා වූ පස්කම් ගුණයෙන් පිණාගියේ යුතු වූයේ ඉඳුරන් පිණවයි.
මහණෙනි, යම්කලෙක වේපචිත්ති අසුර රජහට “අසුරයෝ දැහැමියහ, දෙවියෝ නො දැහැමියහ, දැන් මම එහි ම අසුරපුරයට යන්නෙමි”යි මෙබඳු සිතෙක් වේ ද එකල්හි ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බඳනා ලද තමා දකී. දෙව්මුවා පස්කම් ගුණෙන් පිරිහෙයි. මහණෙනි, වේපචිත්ති බැඳුම් මෙසේ සියුම් ය. මරබැඳුම එයින් අතිශයින් සියුම් ය. මහණෙනි, (තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන්) හඟනේ මරු විසින් බඳනා ලද්දේ ය. නො හඟනේ මරුගෙන් මිදුණේ ය.
මහණෙනි, ‘වෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘මේ මම වෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘නොවන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යි යන යන මෙය මඤ්ඤනාවෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යි යන යන මෙය මඤ්ඤනාවෙකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. මහණෙනි, මඤ්ඤනාව රෝගයෙකි. මඤ්ඤනාව ගඩෙකි. මඤ්ඤනාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මඤ්ඤනා රහිත සිතින් යුතු ව වෙසෙන්නෙමු යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු යි.
මහණෙනි, ‘වෙමි’ යි යන මෙය ඉඤ්ජිත (කම්පන) යෙකි. ‘මේ මම වෙමි’යි යන මෙය ඉඤ්ජිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘නො වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. නො මැ සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. මහණෙනි, ඉඤ්ජිතය රෝගයෙකි. ඉඤ්ජිතය ගඩෙකි. ඉඤ්ජිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා ඉඤ්ජිතය රහිත සිතින් යුතු ව වෙසෙන්නෙමු යි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
මහණෙනි, ‘වෙමි’ යි යන මෙය ඵන්‍දිතයෙ (සැලීමෙ) කි. ‘මේ මම වෙමි’යි යන මෙය ඵන්‍දිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘නො වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. මහණෙනි, ඵන්‍දිතය ලෙඩකි. ඵන්‍දිතය ගඩෙකි. ඵන්‍දිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා නො සැලෙන සිතින් යුතු ව වෙසෙන්නෙමු යි මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි.