1. 19. 8.
කිංසුකෝපම සූත්රය
245. එකල්හි එක්තරා මහණෙක් එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?”යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ ස්පර්ශායතන සයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?”යි මෙය කීය. ඇවැත්නි, මහණ යම් කලෙක පඤ්චොපාදානස්කන්ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?” යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ සතර මහාභූතයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ දැ?” යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ යම් කිසිවක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේ යයි තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
එකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙහි මම එක්තරා මහණකු වෙත එළඹුනෙමි. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ දැ?” යි මෙය කීමි. වහන්ස, මෙසේ කී කල්හි ඒ මහණ මට මෙය කීය: “ඇවැත්නි, යම් කලෙක මහණ ස්පර්ශායතන සයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ඇවැත්නි, මෙපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ ය”යි.
වහන්ස, එකල්හි මම ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයෙම් එක්තරා මහණකු වෙත එළඹුනෙමි. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ දැ”යි මෙය කීමි. වහන්ස, මෙසේ කී කල්හි ඒ මහණ මට මෙය කීය: “ඇවැත්නි, යම් කලෙක මහණ පඤ්චොපාදානස්කන්ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ... සතර මහාභූතයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ... යම් කිසිවක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේ ය” යි තතුසේ දනී ද, ඇවැත්නි, මෙපමණෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ යයි.
වහන්ස, එකල්හි මම ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයෙම් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. වහන්ස, කෙතෙකින් මහණහුගේ දර්ශනය සුවිශුද්ධ වේ දැ? යි.
මහණ, යම්සේ පුරුෂයකු විසින් කෑලගස නුදුටුවිරූ වන්නේ ද, හෙතෙමේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට “පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ?”යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ එම්බල පුරුෂය, “කෑලගස දාගිය කණුවක් මෙන් කළු ය”යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.