1. 19. 7.
දුක්ඛධම්ම සූත්‍රය
244. මහණෙනි, මහණ යම් කලෙක සියලු ම දුක්දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි ආශාවෙක් කාමයන්හි සතුටු වීමෙක් කාමයන්හි මුසපත් වීමෙක් කාමයන්හි දැවිල්ලෙක් වේ නම් එය නො නැසී පවතී ද, එපරිද්දෙන් ඔහු විසින් කාමයෝ දක්නා ලද්දාහු වෙති. අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල්දහම්හු යම්පරිද්දකින් හැසිරෙන්නහු වෙසෙන්නහු අනුව වැගිරෙත් නම් එපරිද්දෙන් හැසිරීමත් විසීමත් ඔහු විසින් අවබෝධ කරන ලද්දේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ සියලු ම දුක් දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනි ද යත්: රූපය මෙසේ ය. රූපයේ හටගැන්ම මෙසේ ය රූපයේ අස්තඞ්ගමය මෙසේ ය. වේදනාව මෙසේ ය. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ අස්තඞ්ගමය මෙසේ ය. සඤ්ඤාව මෙසේ ය. සඤ්ඤාවේ හටගැන්ම මෙසේ ය. සඤ්ඤාවේ අස්තඞ්ගමය මෙසේ ය. සඞ්ඛාර මෙසේ ය. සඞ්ඛාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සඞ්ඛාරයන්ගේ අස්තඞ්ගමය මෙසේ ය. විඤ්ඤාණය මෙසේ ය. විඤ්ඤාණයේ හටගැන්ම මෙසේ ය. විඤ්ඤාණයේ අස්තඞ්ගමය මෙසේ ය යි. මහණෙනි, මෙසේ මහණ සියලු ම දුක්දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී.
මහණෙනි, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමූර්ඡායෙක් කාමපරිදාහයෙක් වේ නම් එය නො නැසී පවතී ද (එපරිද්දෙන්) කෙසේ නම් මහණහු විසින් කාමයෝ දක්නා ලද්දාහු වෙත් ද යත්: මහණෙනි, යම් සේ පහ වූ ගිනිසිළු ඇති පහ වූ දුම් ඇති අඟුරුවලින් පිරුණු පුරිස් පමණින් වැඩි අඟුරු වළෙක් වේ ද, එකල්හි ජීවත්වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ මොහු වෙන් වෙන්ව අත්හි ගෙන ඒ අඟුරුවළ කරා අදනාහු ය. හෙතෙමේ මෙසේත් මෙසේත් කය නමන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ පුරුෂයා විසින් “මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙමි යි දන්නා ලද්දේ ම වෙයි. (එහෙයිනි) මහණෙනි, එසෙයින් ම යම් පරිද්දකින් කාමයන් දක්නා වූ ඔහුට කාමයන්හි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමූර්ඡායෙක් කාමපරිදාහයෙක් වේ නම් එය නො සිඳී පවතී ද, (එපරිද්දෙන් ම) මහණහු විසින් අඟුරුවළ උපමා කොට ඇති කාමයෝ දක්නා ලද්දාහු වෙති.
මහණෙනි, අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු යම් පරිදකින් හැසිරෙන්නාහු වෙසෙන්නහු අනුව වැගිරෙත් නම් (එපරිද්දෙන්) මහණහු විසින් කෙසේ නම් හැසිරීමත් විසීමත් අවබෝධ කරන ලද්දේ වේ ද යත්: මහණෙනි, යම්සේ පුරුෂයෙක් බොහෝ කටු ඇති වනයකට පිවිසෙන්නේ ද, ඔහු ඉදිරියෙනු දු කටු වන්නේ ය. පිටිපසිනු දු කටු වන්නේ ය. උතුරෙනු දු කටු වන්නේ ය. දකුණෙනු දු කටු වන්නේ ය. යටිනු දු කටු වන්නේ ය. උඩිනු දු කටු වන්නේ ය. හෙතෙමේ කටු මා නහමක් පෙළාවා යි සිහි ඇත්තේ ම ඉදිරියට යන්නේ ය. සිහි ඇත්තේ ම පෙරළා එන්නේ ය. මහණෙනි, මෙසේ ලොව යමක් පියදෑ නම් මිහිරිදෑ නම් මෙය සස්නෙහි කටු යයි කියනු ලැබේ. එය කටු යයී මෙසේ දැන සංවරයත් අසංවරයත් දත යුත්තේ ය.
මහණෙනි, කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලේ ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මද සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී. කනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස පැහැස …