1. 19. 6.
අවස්සුතපරියාය සූත්‍රය
243. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් නුවර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි කිඹුල්වත් නුවර වැසි ශාක්‍යයන් විසින් අභිනව සන්‍ථාගාරයක් අලුත කරවන ලද්දේ වෙයි. මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ මිනිස් වූ කිසිවකු විසින් හෝ නො වෙසෙන ලද්දේ ය. එකල්හි කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කිඹුල්වත් පුර ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
වහන්ස, මෙහි කිඹුල්වත්පුර ශාක්‍යයන් විසින් අභිනව සන්‍ථාගාරයක් අලුත කරවන ලද්දේ වෙයි. මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ මිනිස් වූ කිසිවකු විසින් හෝ නො වෙසෙන ලද්දේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එය පළමු කොට පරිභෝග කරන සේක්වා භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු කොට පරිභෝග කරන ලද්දේ පසු ව කිඹුල්වත්පුර ශාක්‍යයෝ පරිභෝග කරන්නාහ. එය කිඹුල්වත්පුර ශාක්‍යයන්ට දිගුකලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යයි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.
එකල්හි කිඹුල්වත්පුර ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට අලුත් සන්‍ථාගාරය වෙත එළඹියහ. එළඹ සන්‍ථාගාරය සියලු ඇතිරීම් අතුරවා අසුන් පනවා මහදියසැළියක් පිහිටුවා තෙල්පහන් නගා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, සන්‍ථාගාරය සියලු ඇතිරීම් අතුරන ලදී. අසුන් පනවන ලදී. මහදියසැළියක් තබවන ලද්දේ ය. තෙල්පහනත් දල්වන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් දන්නා සේක් නම් මැනවැ යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු ගෙන බික්සඟන සමඟ අලුත් සන්‍ථාගාරය වෙත එළඹුණු සේක. එළඹ පා සෝදා සන්‍ථාගාරයට පිවිස මැඳුම් ටැඹ නිසා පෙරදිගට අභිමුඛ ව වැඩහුන් සේක. බික්සඟන ද පා සෝදා සන්‍ථාගාරයට පිවිස පැසුළුබිත නිසා පෙරදිගට අභිමුඛ ව භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට වැඩහුන්හ. කිඹුල්වත්පුර ශාක්‍යයෝ ද පා සෝදා සන්‍ථාගාරයට පිවිස පෙරදිග බිත නිසා පැසුළුදිගට අභිමුඛ ව භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර ශාක්‍යයන් රෑබොහෝ වේලාවක් මුළුල්ලෙහි දැහැමිකථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙදගන්වා සතුටු කරවා ‘ගෞතමයෙනි, රෑපෙරයම ඉක්ම ගියේ ය. යමකට දැන් කල් දනිවු නම් මැනවැ යි පිටත් කළ සේක. කිඹුල්වත්පුර ශාක්‍යයෝ එසේ ය වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර ශාක්‍යයන් ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඇමතූ සේක. මොග්ගල්ලාන, බික්සඟන පහ වූ ථීනමිද්ධ ඇත්තේ ය. මොග්ගල්ලාන, භික්‍ෂූන්ට දැහැමි කතාවක් තොපට වැටහේවා. මාගේ පිට මඳක් රිදෙයි, එහෙයින් මම එය සන්සිඳුවාගන්නෙමි යි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුගුණු කොට පනවා පියෙහි පිය මදක් හයා තබා සිහි ඇති ව මනානුවණ ඇති ව නැගී සිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කළ සේක.