1. 19. 3.
කුම්මොපම සූත්රය
240. මහණෙනි, පෙර වූවක් කියමි: ඉදිබුවෙක් සවස් වේලෙහි ගංඉවුර අසබඩ ගොදුරු සෙවීමෙහි යෙදුනේ විය. මහණෙනි, සිවලෙක් ද සවස් වේලෙහි ගංඉවුර අසබඩ ගොදුරු සෙවීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, ඉදිබුවා ගොදුරු සෙවීමෙහි යෙදුණු සිවලා දුර දී ම දුටුයේ ය. දැක හිස පස්වැනි කොට ඇති අවයව සිය කබලෙහි බහා ගෙන නිරුත්සුකව නිහඬව හිඳී. මහණෙනි, සිවලා ද ඉදිබුවා දුර දී ම දුටු යේ ය. දැක ඉදිබුවා වෙත එළඹියේ ය. එළඹ “යම් කලෙක මේ ඉදිබුවා හිසපස්වැනි කොට ඇති අවයවයන්ගෙන් එක්තරා හෝ එක්තරා හෝ අවයව යක් පිටතට නිකුත් කරන්නේ නම් එහි ම එය ඩැහැ ගෙන කඩා කන්නෙමි” යි ඉදිබුවාට ළං ව සිටියේ ය. මහණෙනි, යම් කලෙක ඉදිබුවා හිසපස්වැනි කොට ඇති අවයවයන්ගෙන් එක්තරා හෝ එක්තරා අවයවයක් පිටතට නිකුත් නො කෙළේ ද එකල්හි සිවලා ඉඩක් නො ලබනුයේ ඉදිබුවාගෙන් ඉවත් ව ගියේ ය.
මහණෙනි, එසෙයින් ම තොප වෙත ද පවිටු මරු තෙමේ “මම මොවුන්ගේ ඇසින් හෝ ඉඩක් ලබන්නේ නම් කනින් හෝ ඉඩක් ලබන්නෙම් නම් නැහැයෙන් හෝ ඉඩක් ලබන්නෙම් නම් දිවෙන් හෝ ඉඩක් ලබන්නෙම් නම් කයින් හෝ ඉඩක් ලබන්නෙම් නම් සිතින් හෝ ඉඩක් ලබන්නෙම් නම් මැනවැ යි නිතර එළඹ සිටියේ වෙයි.
මහණෙනි, එහෙයින් මෙහි ලා ඉඳුරන්හි වැසූ දොර ඇති ව වසවු. ඇසින් රූ දැක නිමිති විසින් ගන්නෝ නොවවු. අනුව්යඤ්ජන විසින් ගන්නෝ නොවවු. යමක් හේතු කොට ගෙන චක්ඛුන්ද්රිය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. චක්ඛුන්ද්රිය රකිවු. චක්ඛුන්ද්රියයෙහි සංවරයට පැමිණෙවු.
කනින් සද අසා ... නැහැයින් ඟඳ ගෙන ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන නිමිති විසින් ගන්නෝ නොවවු. අනුව්යඤ්ජන විසින් ගන්නෝ නොවවු. යමක් හේතුකොට ගෙන මනින්ද්රියය සංවෘත නො කොට වසන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. මනින්ද්රියය රකිවු. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙවු. මහණෙනි, යම් කලෙක තෙපි ඉඳුරන්හි වැසූ දොර ඇති ව වසන්නහු නම් එකල්හි පවිටු මරු තෙමේ ඉඩක් නො ලබනුයේ කලකිරී ඉදිබුවා කෙරෙන් සිවලා මෙන් තොප කෙරෙනුදු ඉවත් ව යන්නේ ය.
සිය කබලෙහි අවයව බහා ගන්නා ඉදිබුවා මෙන් මහණ සිතිවිලි බහා තබන්නේ (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) නොඇසුරුකරන ලදුයේ මෙරමා නො පෙළනුයේ පිරිනිවියේ කිසිවකුට උපවාද නො කරන්නේ යයි.
1. 19. 4.
දාරුක්ඛන්ධොපම සූත්රය
241. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ අයෝධ්යා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්යවතුන් වහන්සේ ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගසා ගෙන යන මහත් දරකඳක් දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගෙන යනු ලබන තෙල මහදරකඳ දකිවු දැ? යි. වහන්ස, එසේ ය.
මහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නො පැමිණේ නම් එතෙරට නො පැමිණේ නම් මැද නො කිඳා නම් ගොඩට නො ගැසෙන්නේ නම් මිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් නොමිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් සුළියකට හසුවීමෙක් නො වන්නේ නම් ඇතුළත කුණුවූයේ (ගඟ තුළ ම දිරාගියේ) නො වන්නේ නම් මහණෙනි, මෙසේ ඒ දරකඳ මුහුදට නැමුණේ මුහුදට නැඹුරු වූයේ මුහුදට බර වූයේ වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ගඞ්ගා නදියෙහි සැඩපහර මුහුදට නැමුනේ ය. මුහුදට නැඹුරු වූයේ ය. මුහුදට බර වූයේ ය. (එහෙයිනි)
මහණෙනි, එසෙයින් ම තෙපි දු ඉදින් මෙතෙරට නො පැමිණෙවු නම් පරතෙරට නො පැමිණෙවු නම් මැද නො කිඳෙන්නහු නම් ගොඩට නො ගැසෙන්නහු නම් මිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් නොමිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් සුළියකින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් ඇතුළත කුණු වූවෝ නො වන්නහු නම් මහණෙනි, මෙසේ තෙපි නිවනට නැමුණාහු නිවනට නැඹුරු වූවාහු නිවනට බර වූවාහු වන්නහු ය ඒ කවර හෙයින යත්: මහණෙනි, සම්මාදිට්ඨිය නිවනට නැමුණේ ය. නිවනට නැඹුරු වූයේ ය. නිවනට බර වූයේ ය. (එහෙයිනි) යි.