1. 19. 4.
දාරුක්ඛන්ධොපම සූත්රය
241. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ අයෝධ්යා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්යවතුන් වහන්සේ ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගසා ගෙන යන මහත් දරකඳක් දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගෙන යනු ලබන තෙල මහදරකඳ දකිවු දැ? යි. වහන්ස, එසේ ය.
මහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නො පැමිණේ නම් එතෙරට නො පැමිණේ නම් මැද නො කිඳා නම් ගොඩට නො ගැසෙන්නේ නම් මිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් නොමිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් සුළියකට හසුවීමෙක් නො වන්නේ නම් ඇතුළත කුණුවූයේ (ගඟ තුළ ම දිරාගියේ) නො වන්නේ නම් මහණෙනි, මෙසේ ඒ දරකඳ මුහුදට නැමුණේ මුහුදට නැඹුරු වූයේ මුහුදට බර වූයේ වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ගඞ්ගා නදියෙහි සැඩපහර මුහුදට නැමුනේ ය. මුහුදට නැඹුරු වූයේ ය. මුහුදට බර වූයේ ය. (එහෙයිනි)
මහණෙනි, එසෙයින් ම තෙපි දු ඉදින් මෙතෙරට නො පැමිණෙවු නම් පරතෙරට නො පැමිණෙවු නම් මැද නො කිඳෙන්නහු නම් ගොඩට නො ගැසෙන්නහු නම් මිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් නොමිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් සුළියකින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් ඇතුළත කුණු වූවෝ නො වන්නහු නම් මහණෙනි, මෙසේ තෙපි නිවනට නැමුණාහු නිවනට නැඹුරු වූවාහු නිවනට බර වූවාහු වන්නහු ය ඒ කවර හෙයින යත්: මහණෙනි, සම්මාදිට්ඨිය නිවනට නැමුණේ ය. නිවනට නැඹුරු වූයේ ය. නිවනට බර වූයේ ය. (එහෙයිනි) යි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙතෙර කිමෙක් ද? එතෙර කිමෙක් ද? මැද කිඳීම කිමෙක් ද? ගොඩට ගැසීම කිමෙක් ද? මිනිසුන්ගේ ගැනීම කිමෙක් ද? නොමිනිසුන්ගේ ගැනීම කිමෙක් ද? සුළියක ගැනීම කිමෙක් ද? ඇතුළත කුණුවීම කිමෙක් දැ? යි.
මහණ, ‘මෙතෙර’ යනු අධ්යාත්මික ෂඩායතනයට මේ නමෙකි, මහණ; ‘පරතෙර’ ය යනු බාහිර ෂඩායතනයට මේ නමෙකි. මහණ, ‘මැද කිඳීම’ යනු නන්දිරාගයට මේ නමෙකි. මහණ, ‘ගොඩට ගැසීම’ යනු අස්මිමානයට මේ නමෙකි. මහණ, මිනිසුන්ගේ ගැනීම කවරේ ද යත්: මෙහි මහණ ගිහියන් හා මිශ්ර වූයේ සමග සතුටු වන්නේ සමග ශෝක කරන්නේ සුවපත් වූවන් අතර සුවපත් වූයේ දුකට පැමිණියන් අතර දුකට පැමිණියේ වෙසෙයි. වැඩ කටයුතු උපන් කල්හි තමා එහි යෙදිය යුතුබවට පැමිණෙයි. මහණ, මේ මිනිසුන්ගේ ගැනීම යයි කියනු ලැබේ. මහණ, නො මිනිසුන්ගේ ගැනීම කවරේ ද යත්: මහණ මෙහි ඇතැමෙක් “මම මේ ශීලයෙන් හෝ ව්රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි” යි එක්තරා දේවනිකායක් පතා බඹසර කෙරෙයි. මහණ, මේ නොමිනිසුන්ගේ ගැනීම යයි කියනු ලැබේ. මහණ, සුළියක ගැනීම යනු පස්කම්ගුණයන්ට මේ නමෙකි. මහණ, ඇතුළත කුණුවීම කවරේ ද යත්: මහණ මෙසස්නෙහි ඇතැමෙක් දුසිල් වූයේ ලාමක ස්වභාව ඇත්තේ අපවිත්ර වූයේ සැකයෙන් සිහිකට යුතු හැසුරුම් ඇත්තේ සැඟවුණු ක්රියා ඇත්තේ නො මහණෙක් ව මහණෙක්මි යි පිළින ඇත්තේ බඹසර නැති ව බඹසර කරමියි පිළින ඇත්තේ ඇතුළත කුණු වූයේ වැගිරෙන කෙලෙස් ඇත්තේ හටගත් කෙලෙස් කසට ඇත්තේ වෙයි. මහණ, මේ ඇතුළත කුණුවීම යයි කියනු ලැබේ.
එසමයෙහි නන්ද නම් ගොපලු තෙමේ භාග්යවතුන් වහන්සේට නුදුරේ සිටියේ වෙයි. එකල්හි නන්ද ගොපලු තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, මම මෙතෙරට නො පැමිණෙමි. එතෙරට නො පැමිණෙමි. මැද නො කිඳෙන්නෙමි. ගොඩට නො ගැසෙන්නෙමි. මිනිසුන්ගේ ගැනීමෙක් නොවන්නේ ය. නොමිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ ය. සුළියක ගැනීමෙක් නො වන්නේ ය. ඇතුළත කුණු වූයෙම් නො වන්නෙමි, වහන්ස, මම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි”යි.
නන්ද, එසේ වී නම් තෙපි හිමියන්ට ගෙරින් පාවාදෙවු යි. වහන්ස, වසුපැටවුන් කෙරෙහි ගිජු වූ දෙන්නු (තුමූ ම) යන්නාහ යි. නන්ද, තෙපි ම හිමියන්ට ගෙරින් පාවා දෙවු යි. එකල්හි නන්ද ගොපලු තෙමේ හිමියන්ට ගෙරින් පාවා දී භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, හිමියන්ට ගෙරිහු පාවා දෙන ලදහ. වහන්ස භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි යි.