1. 19. 2.
රථූපම සූත්‍රය
239. මහණෙනි, දහම් තුනකින් සමන්‍විත වූ මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල ව වෙසෙයි, කෙලෙසුන් නැසීම පිණිස කරුණු ද ඔහුට පිරිපුන් වෙයි. කවරතුනකින් ද යත්: ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ බොදුනෙහි පමණ දන්නේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් හේතුවකින් චක්ඛුන්‍ද්‍රියය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඇස රකියි. ඇසෙහි සංවරයට පැමිණෙයි.
කනින් සද අසා ... නැහැයෙන් ඟඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන නිමිති විසින් නො ගන්නේ අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් හේතුවකින් මනින්‍ද්‍රියය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු ද එහි සංවරය පිණිස පිළිපදියි. සිත රකියි. සිතෙහි සංවරයට පැමිණෙයි.
මහණෙනි, යම්සේ මනාබිමෙක සිවුමංසලක සරසට ලූ කෙවිටි ඇති අජානීය අසුන් යෙදූ රථයක් තබන ලද්දේ වේ ද, අසුන් හික්මවීමෙහි සමත් දක්‍ෂ රියැදුරෙක් ඒ මේ රියට නැගී වමතින් රැහැන් ගෙන දකුණතින් කෙවිට ගෙන යම් කැමති දිගකින් යම් කැමති දිගකට හසුරුවන්නෙත් පෙරළා හසුරුවන්නෙත් වෙයි. මහණෙනි, එසෙයින් ම මහණ මේ සයිඳුරන් රැකීම පිණිස හික්මෙයි. සංයමය පිණිස හික්මෙයි. දමනය පිණිස හික්මෙයි. උපසමය පිණිස හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ භෝජනයෙහි පමණ දන්නේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා අහර වළඳයි. (කෙසේ ද යත්:) කෙළි පිණිස නො වෙයි. මද පිණිස නො වෙයි. අඟපසඟ වඩනු පිණිස නො වෙයි. සැරසුම් පිණිස නො වෙයි. මේ කයෙහි පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. සාගිනි වේදනා වැළැක්ම පිණිස ම ය. බඹසරට අනුග්‍රහ පිණිස ම ය. මෙසේ පැරණි වේදනාව ද නසමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. මාගේ ඉරියවු පැවැත්ම ද නිවරද බව ද පහසු විහරණය ද වන්නේ යයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මස් වැඩීම පිණිස ම වණයක බෙහෙත් ගල්වන්නේ ද යම්සේ හෝ බර ගෙන යනු පිණිස ම අකුරෙහි තෙල් ගල්වන්නේ ද මහණෙනි, එසෙයින් ම මහණ නුවණින් සලකා අහර වළඳයි. (කෙසේ ද යත්:) කෙළි පිණිස නො වෙයි. මඳ පිණිස නො වෙයි. අඟපසඟ වඩනු පිණිස නො වෙයි. සැරසුම පිණිස නො වෙයි. මේ කයෙහි පැවැත්ම පිණිසම ය. යැපීම පිණිස ම ය. වේදනා නැසීම පිණිස ම ය. බඹසරට අනුග්‍රහ පිණිස ම ය. මෙසේ පැරැණි වේදනාත් නසමි. අලුත් වේදනාත් නූපදවන්නෙමි. මාගේ ඉරියවු පැවැත්ම ද නිවරදබව ද පහසු විහරණය ද වන්නේ යයි. මහණෙනි, මෙසේ මහණ භෝජනයෙහි පමණ දන්නේ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ නිදි වැරීමෙහි යෙදුනේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ දහවල මුළුල්ලෙහි සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.