1. 19. 1.
ආසිවිසෝපම සූත්රය
238. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු වහන්සැ යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් සේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සර්පයෝ සිවුදෙනෙක් වෙද්ද, එකල්හි ජීවත්වනු කැමති නො මැරෙණු කැමති සුව කැමති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සතර අසීවිසයෝ සිවුදෙන තා විසින් කලින් කල නැගීසිටුවිය යුතුහ. කලින් කල නැහැවිය යුතුහ. කලින් කල වැළඳවිය යුතුහ. කලින් කල හොවවිය යුතුහ. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සූසපුන්ගෙන් එක්තරා එක්තරා එකෙක් හෝ කිපෙන්නේ නම් එම්බල පුරුෂය, ඒ හේතුවෙන් තෙපි මරණයට හෝ මරණය පමණ දුකකට හෝ පැමිණෙන්නහු ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට යුතු නම් එය කරවු යි.
මහණෙනි, එකල්හි ඒ පුරුෂ තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සූසපුන්ට බිය වූයේ යම් ඒ තැනකට හෝ පලා යන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, සතුරු වූ මේ වධකයෝ පස්දෙනෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නමෝ නම් එහිදී ම දිවියෙන් තොර කරන්නෙමු’යි තා පසුපස ලුහුබඳනාහ. එම්බල පුරුෂය, තා විසින් යමක් කට හැකි නම් එය කරව’ යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති ඒ සූසපුන්ට බිය වූයේ සතුරු වූ වධකයන් පස්දෙනාට බිය වූයේ යම් ඒ තැනෙක හෝ පලා යන්නේ ය.
ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, ඇතුළත හැසිරෙන මේ සවැනි වධකයෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නෙම් නම් එහිදී ම හිස සිඳ හෙළන්නේමි යි ඔසවා ගත් කඩුවක් ඇත්තේ තා පසුපස ලුහුබඳනේ ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට හැකි නම් එය කරව’යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශිර්විෂයන්ට බිය වූයේ සතුරු වූ පස් වධකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයාට බිය වූයේ යම් තැනෙක හෝ පලා යන්නේ ය.
හෙතෙමේ හිස් ගමක් දක්නේ ය. යම් යම් ගෙයකට පිවිසෙන්නේ නම් කිසිවක් නැති ගෙයකට ම පිවිසෙන්නේ ය. හිස් ගෙයකට ම පිවිසෙන්නේ ය. ශුන්ය ගෙයකට ම පිවිසෙන්නේ ය. යම් යම් බඳුනක් (ආහාරපාන ඇතැයි) අල්ලන්නේ නම් කිසිවක් නැත්තක් ම අල්ලන්නේ ය. හිස් වූවක් ම අල්ලන්නේ ය. ශුන්ය වූවක් ම අල්ලන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: එම්බල පුරුෂය, ගම් පහරන හොරු දැන් මේ ගම නසන්නාහ. තා විසින් යමක් කළ හැකි නම් එය කරව යි.
මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශිර්විෂයන්ට බිය වූයේ සතුරු වූ පස්වධකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයාට බිය වූයේ ගම්පහරන සොරුන්ට බිය වූයේ යම් ඒ තැනක හෝ පලා යන්නේ ය. හෙතෙමේ මහත් ජලාසයක් දක්නේ ය. මෙතෙර සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. බිය රහිත ය. එහි එතෙර මෙතෙර කරන නැවක් හෝ ඔබමොබ යෑමට හෙයක් හෝ නැත.
මහණෙනි, එකල්හි ඒ පුරිස්හට මෙබඳු සිතෙක් වන්නේ ය: ‘මෙය මහාජලාසයෙකි. මෙතෙර සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. බිය රහිත ය. එතෙර මෙතෙර කරන නැවක් හෝ ඔබමොබ යෑමට හෙයක් හෝ නැත. මම තණ දර අතු කොළ රැස් කොට පහුරක් බැඳ ඒ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ පරතෙරට යන්නෙම් නම් මැනවැ’යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ තණ දර අතු කොල රැස් කොට පහුරක් බැඳ ඒ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ පරතෙරට යන්නේ ය. තරණය කළ පරතෙරට පැමිණි බමුණු තෙමේ (නිවන් නැමැති) ගොඩබිම සිටී.
මහණෙනි, මා විසින් අරුත් ඇඟවිම පිණිස මේ උපමාව කරන ලදී. මේ මෙහි අර්ත්ථ යයි: මහණෙනි, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශීර්විෂයෝ යනු පඨවි ධාතුවට ද ආපෝ ධාතුවට ද තේජෝ ධාතුවට ද වායෝ ධාතුවට ද යන සතර මහාභූතයන්ට මේ නමෙකි.
මහණෙනි, ‘සතුරු වූ පස්වධකයෝ’ ය යනු උපාදානස්කන්ධ පසට එනම් රූපෝපාදානස්කන්ධයට ද වේදනෝපාදානස්කධයට ද සංඥෝපාදානස්කන්ධයට ද සංස්කාරෝපාදානස්කන්ධයට ද විඥානෝපාදානස්කන්ධයට ද මේ නමෙකි. මහණෙනි, ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයා ය යනු නන්දිරාගයට මේ නමෙකි. මහණෙනි, ‘හිස්ගම’ය යනු ආධ්යාත්මික ෂඩායතනයට මේ නමෙකි.