1. 18. 10.
දුතිය හත්‍ථපාදූපම සූත්‍රය
237. මහණෙනි, අත් ඇති කල්හි ගැනීම බහා තැබීම වෙයි. පා ඇති කල්හි ඉදිරි ගමන ආපසුගමන වෙයි. පුරුක් ඇති කල්හි හැකිලීම දිගහැරීම වෙයි. කුස ඇති කල්හි සාපවස වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස ඇති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් උපදී. කන …නැහැය … දිව ... කය … සිත ඇති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් උපදී.
මහණෙනි, අත් නැති කල්හි ගැනීම බහා තැබීම නො වෙයි. පා නැති කල්හි ඉදිරි ගමන ආපසු ගමන නො වෙයි. පර්‍ව (පුරුක්) නැති කල්හි හැකිලීම දිග හැරීම නො වෙයි. කුස නැති කල්හි සාපවස නො වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස නැති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කන නැති කල්හි … නැහැය නැති කල්හි ... දිව නැති කල්හි … කය නැති කල්හි ... සිත නැති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් නූපදී යි.
අටළොස්වැනි සමුද්ද වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය :
සමුද්ද සූත්‍ර දෙකෙකි. බාළිසික, ඛීරරුක්ඛොපම, කොට්ඨිත , කාමභූ, උදායී, ආදිත්ත යයි සයෙකි. හත්‍ථපාදූපම සූත්‍ර දෙකෙකැ යි. එයින් වර්‍ගය යි කියනු ලැබේ.
19. ආසීවිස වර්‍ගය
1. 19. 1.
ආසිවිසෝපම සූත්‍රය
238. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම් සේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සර්‍පයෝ සිවුදෙනෙක් වෙද්ද, එකල්හි ජීවත්වනු කැමති නො මැරෙණු කැමති සුව කැමති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සතර අසීවිසයෝ සිවුදෙන තා විසින් කලින් කල නැගීසිටුවිය යුතුහ. කලින් කල නැහැවිය යුතුහ. කලින් කල වැළඳවිය යුතුහ. කලින් කල හොවවිය යුතුහ. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සූසපුන්ගෙන් එක්තරා එක්තරා එකෙක් හෝ කිපෙන්නේ නම් එම්බල පුරුෂය, ඒ හේතුවෙන් තෙපි මරණයට හෝ මරණය පමණ දුකකට හෝ පැමිණෙන්නහු ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට යුතු නම් එය කරවු යි.
මහණෙනි, එකල්හි ඒ පුරුෂ තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සූසපුන්ට බිය වූයේ යම් ඒ තැනකට හෝ පලා යන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, සතුරු වූ මේ වධකයෝ පස්දෙනෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නමෝ නම් එහිදී ම දිවියෙන් තොර කරන්නෙමු’යි තා පසුපස ලුහුබඳනාහ. එම්බල පුරුෂය, තා විසින් යමක් කට හැකි නම් එය කරව’ යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති ඒ සූසපුන්ට බිය වූයේ සතුරු වූ වධකයන් පස්දෙනාට බිය වූයේ යම් ඒ තැනෙක හෝ පලා යන්නේ ය.
ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, ඇතුළත හැසිරෙන මේ සවැනි වධකයෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නෙම් නම් එහිදී ම හිස සිඳ හෙළන්නේමි යි ඔසවා ගත් කඩුවක් ඇත්තේ තා පසුපස ලුහුබඳනේ ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට හැකි නම් එය කරව’යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශිර්විෂයන්ට බිය වූයේ සතුරු වූ පස් වධකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයාට බිය වූයේ යම් තැනෙක හෝ පලා යන්නේ ය.