1. 16. 5.
සමාධි සූත්‍රය
160. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ජීවක අඹවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාහිත මහණහට තතු සේ වැටහෙයි. කිමෙක් තතු සේ වැටහේ ද යත්:
ඇස අනිසැ යි තතු සේ වැටහෙයි. රූ අනිසහ යි තතු සේ වැටහෙයි. චක්‍ෂුර්විඥානය අනිසැ යි තතු සේ වැටහෙයි. ඇස්පහස අනිසැ යි තතු සේ වැටහේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී ද, හෙ ද අනිසැ යි තතු සේ වැටහේ. කන ... නැහැය ... දිව ... කය ... සිත අනිසැ යි තතු සේ වැටහේ. දහම් අනිසැ යි තතු සේ වැටහේ. මනෝවිඤ්ඤාණය අනිසැ යි තතු සේ වැටහේ . මනපහස අනිසැ යි තතු සේ වැටහේ. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද, අනිසැ යි තතු සේ වැටහේ. මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාහිත මහණහට තතු සේ වැටහේ යි.
1. 16. 6.
පටිසල්ලාන සූත්‍රය
161. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ජීවක අඹවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණහට තතු සේ පෙනෙයි. කිමෙක් තතු සේ පෙනේ ද යත්:
ඇස අනිසැ යි තතු සේ පෙනෙයි. රූප අනිසහ යි තතු සේ පෙනෙයි. චක්‍ෂුර්විඥානය අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ පෙනෙයි.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනිසැ යි තතුසේ පෙනේ. දහම් අනිසහ යි තතුසේ පෙනෙයි. මනෝවිඤ්ඤාණය අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී ද හෙ ද අනිසැ යි තතුසේ පෙනෙයි. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි විවේකයෙන් යුත් මහණහට තත්වූ පරිද්දෙන් පෙනේ යි.
1. 16. 7.
කොට්ඨිත අනිච්ච සූත්‍රය
162. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේසනා කරන සේක්වා යි.