1. 16. 6.
පටිසල්ලාන සූත්‍රය
161. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ජීවක අඹවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණහට තතු සේ පෙනෙයි. කිමෙක් තතු සේ පෙනේ ද යත්:
ඇස අනිසැ යි තතු සේ පෙනෙයි. රූප අනිසහ යි තතු සේ පෙනෙයි. චක්‍ෂුර්විඥානය අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ පෙනෙයි.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනිසැ යි තතුසේ පෙනේ. දහම් අනිසහ යි තතුසේ පෙනෙයි. මනෝවිඤ්ඤාණය අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී ද හෙ ද අනිසැ යි තතුසේ පෙනෙයි. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි විවේකයෙන් යුත් මහණහට තත්වූ පරිද්දෙන් පෙනේ යි.
1. 16. 7.
කොට්ඨිත අනිච්ච සූත්‍රය
162. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේසනා කරන සේක්වා යි.
කොට්ඨිතයෙනි, යමෙක් අනිස වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, කිමෙක් අනිස වේ ද යත්: කොට්ඨිතයෙනි, ඇස අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. රූප අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කන ... නැහැය ... දිව අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. රස අනිස ය ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්‍ශය ... දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කය ... සිත අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් අනිස ය ... මනෝවිඤ්ඤාණය අනිස ය ... මනපහස අනිස ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහිලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් අනිස වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
1. 16. 8.
කොට්ඨිතදුක්ඛ සූත්‍රය
163. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ... වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්ව” යි. කොට්ඨිතයෙනි, යමෙක් දුක් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිත, කිමෙක් දුක් වේ ද යත්: කොට්ඨිතයෙනි, ඇස දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුත්තේ ය. රූපයෝ දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.