1. 16. 11.
සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය
166. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ දැ? යි.
මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ.
කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. දහම් දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝවිඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝසම්ඵස්සය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ යි.
1. 16. 12.
අත්තානුදිට්ඨිප්පහාන සූත්‍රය
167. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ දැ? යත්:
මහණ, ඇස අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූපයන් අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ඛුසම්ඵස්සය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ යම් මේ විඳුමෙක් වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. දහම් අනාත්ම විසින් ... මනෝවිඥානය අනාත්ම විසින් ... මනෝසම්ඵස්සය අනත් විසින් ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ යි.
සොළොස්වැනි නන්‍දික්ඛය වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
නන්‍දික්ඛය නමින් සතරෙක් ද, ජීවකම්බවනයෙහි දෙකෙක් ද, කොට්ඨිත නමින් තුනෙක් ද, මිච්ඡාදිට්ඨිප්පහාන, සක්කායදිට්ඨිප්පහාන, අත්තානුදිට්ඨිප්පහාන යි තුනෙක් දැ යි මෙසේ සූත්‍ර දොළොසෙක් වදාරන ලදි.