1. 15. 10.
ධම්මකථික සූත්රය
155. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, ධම්මකථික ය, ධම්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධම්මකථික වේ දැ? යි.
මහණ, ඉදින් ඇසෙහි නිර්වේදය පිණිස විරාගය පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ නම් මහණ තෙමේ ධම්මකථික ය”යි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් ඇසෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් මහණ තෙමේ දහමට අනුලොම් පිළිවෙතෙහි පිළිපන්නේ යයි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් ඇසෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යයි කියන්නට සුදුසු ය.
කනෙහි ... නැහැයෙහි ... දිවෙහි ... කයෙහි ... මහණ, ඉදින් සිතෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ නම් මහණ තෙමේ ධම්මකථික ය යි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් සිතෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් මහණ තෙමේ දහමට අනුලොම් පිළිවෙතෙහි පිළිපන්නේ යයි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් සිතෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් මහණ තෙමේ දිටුදැමියෙහි නිවන් පැමිණියේ යයි කියන්නට සුදුසු යයි.
පසළොස් වැනි නවපුරාණ වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
කම්ම සූත්රය, සප්පාය සූත්ර සතර ය, අනන්තෙවාසි කිමත්ථිය සූත්ර දෙක ය, අතථිනුඛොපරියාය සූත්රය, ඉන්ද්රියසම්පන්න ධම්මකථික සූත්ර දෙක ය යි සූත්ර දශයෙකි.
එහි වර්ගනාමාවලිය:
යෝගක්ඛේම, ලෝක වර්ග දෙකෙන් ද, ගහපති, දේවදහ වර්ග දෙකෙන් ද, ඒ නවපුරාණ වර්ගයෙන් ද තෙවන පඤ්ඤාසකය කියනු ලැබේ යි.
තෙවන පඤ්ඤාසකය නිමි.
16. නන්දික්ඛය වර්ගය
1. 16. 1.
අජ්ඣත්තනන්දික්ඛය අනිච්ච සූත්රය
156. සැවැත්නුවර–
මහණෙනි, මහණ තෙමේ අනිත්යවූ ම ඇස අනිත්ය යැ යි දකී ද, ඒ ඔහුට සම්යග්දෘෂ්ටි වෙයි. මොනොවට දක්නේ කලකිරෙයි. නන්දිය ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙයි. රාගය ක්ෂය වීමෙන් නන්දිය ක්ෂය වෙයි. නන්දිරාගය ක්ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ. මහණෙනි, මහණ තෙමේ අනිත්ය වූ ම ශ්රෝත්රය අනිත්ය යැ යි දකී ද ඝ්රාණය අනිත්ය යැ යි දකී ද දිව අනිත්ය යැ යි දකී ද කය අනිත්ය යැ යි දකී ද මහණෙනි, මහණ තෙමේ අනිත්ය වූ ම මනස අනිත්යයැ යි දකී ද ඒ ඔහුට සම්යග්දෘෂ්ටි වෙයි. මොනොවට දක්නේ කලකිරෙයි. නන්දිය ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙයි. රාගය ක්ෂය වීමෙන් නන්දිය ක්ෂය වෙයි. නන්දිරාගය ක්ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.
1. 16. 2.
බහිද්ධානන්දික්ඛය අනිච්ච සූත්රය
157. මහණෙනි, මහණ අනිස වූ ම රූපයන් අනිස යැ යි දකියි. ඒ ඔහුට සම්යග්දෘෂ්ටි වෙයි. මැනැවින් දක්නේ කලකිරෙයි. නන්දිය ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙයි. රාගය ක්ෂය වීමෙන් නන්දිය ක්ෂය වෙයි. නන්දිරාග දෙක ක්ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ. මහණෙනි, මහණ අනිස වූ ම සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිසහ යි දකී නම් එය ඔහුගේ සම්මාදිට්ඨි වෙයි. මැනැවින් දක්නේ කලකිරෙයි. නන්දිය ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙයි. රාගය ක්ෂය වීමෙන් නන්දිය ක්ෂය වෙයි. නන්දිරාග දෙක ක්ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.
1. 16. 3.
අජ්ඣත්ත නන්දික්ඛයයෝනිසො සූත්රය
158. මහණෙනි, ඇස නුවණින් මෙනෙහි කරවු, ඇස්හි අනිස් බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ ඇස නුවණින් මෙනෙහි කරන්නේ ඇස්හි අනිස් බව ද තතු සේ නුවණින් දක්නේ ඇසෙහිත් කලකිරෙයි. නන්දිය ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙයි. රාගය ක්ෂය වීමෙන් නන්දිය ක්ෂය වේ. නන්දිරාගය ක්ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.