1. 14. 11.
බාහිර දුක්ඛ සූත්‍රය
144. මහණෙනි, රූපයෝ දුක්හ. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි. දුක් හේතුවෙන් හටගත් රූප කවර හෙයින් සුව වන්නේ ද. සද ... ගඳ ... රස ... පහස් ... දහම් දුක් ය. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි, දුකින් හටගත් දහම් කවර හෙයින් සැප වන්නේ ද.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 14. 12.
බාහිර අනත්ත සූත්‍රය
145. මහණෙනි, රූපයෝ අනාත්මයහ. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනාත්මය. මහණෙනි, අනාත්මදැයින් හටගත් රූපයෝ කොයින් ආත්ම වන්නෝ ද. සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනාත්මයහ. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනාත්ම ය. මහණෙනි, අනාත්ම දැයින් හටගත් දහම් කොයින් ආත්ම වන්නේ ද.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
තුදුස්වැනි දේවදහවර්‍ගය යි.
එහි සූත්‍ර නාමාවලිය:
දේවදහ, ඛණ, සගය්හ, ගය්හ, යයි සතරෙක් ද, පලාස නමින් දෙකෙක් ද වෙත්, හේතු නමින් ද තුනෙක් කියන ලදි. ඔහු අජ්ඣත්ත බාහිර ය යි සයෙකි. මුළුල්ල දොළසෙකි.
15. නවපුරාණ වර්‍ගය
1. 15. 1.
කම්ම සූත්‍රය
146. මහණෙනි, අලුත් කර්‍ම හා පැරණි කර්‍ම ද කර්‍මනිරෝධය ද කර්‍මනිරෝධගාමිනී ප්‍රතිපදාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි.
මහණෙනි, පැරණි කර්‍මය කවරේ ද යත්: මහණෙනි, ඇස ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. කන ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. නැහැය ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. දිව ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. කය ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. සිත ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. මහණෙනි, මේ පැරණි කර්‍ම යයි කියනු ලැබේ.
මහණෙනි, අලුත් කර්‍මය කවරේ ද යත්: දැන් කයින් වදනින් සිතින් යම් කර්‍මයක් කෙරේ නම් මහණෙනි, මේ අලුත් කර්‍ම යයි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මනිරෝධය කවරේ ද යත්: මහණෙනි, යමෙක් කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍මයන්ගේ නිරෝධයෙන් විමුක්තිය ස්පර්‍ශ කෙරේ නම් මහණෙනි, මේ කර්‍මනිරෝධ යයි කියනු ලැබේ.
මහණෙනි, කර්‍ම නිරෝධගාමිනීප්‍රතිපදාව කවරයැ යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය මැ යි: එනම් සම්මාදිටිඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යි. මහණෙනි, මේ කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ මා විසින් තොපට පැරණිකර්‍මය දේශනා කරන ලදී. අලුත්කර්‍මය දේශනා කරන ලදී. කර්‍මනිරෝධය දේශනා කරන ලදි. කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් තොපට කටයුතු නම් මා විසින් එය තොපට කරන ලදී. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල සුන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු, නහමක් පමාවවු. පසු ව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනාව යි.