1. 13. 2.
වජ්ජී සූත්‍රය
125. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි දනව්වෙහි හත්‍ථිගම්හි වැඩවසන සේක. එකල්හි හත්‍ථිගම්වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් හත්‍ථි ගම් වැසි උග්ග ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? (පළමු සුතුර මෙන් විතර කටයුතු) ... ගැහැවි, යම් හෙයකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.
1. 13. 3.
නාලන්‍දා සූත්‍රය
126. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවර පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ යි. (විතර කට යුතු) ... ගැහැවි යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි මේ ප්‍රත්‍යය යි.
1. 13. 4.
භාරද්වාජ සූත්‍රය
127. එක්කලෙක ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උදේන රජ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන්ට මෙය සැලකෙළේ ය:
භවත් භාරද්වාජයෙනි, තරුණ වූ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමුවන වයසින් යුතු කම්සැප අනුභව නොකළ විරූ මේ තරුණ භික්‍ෂූහු යම්හෙයෙකින් දිවිහිමියෙන් පිරිපුන් පිරිසිදු බඹසර වෙසෙත් නම් දිගුකලක් නො සිඳ පවත්වත් නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ යි.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්මාසම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී: මහණෙනි, තෙපි එවු. මවු වැන්නවුන් කෙරෙහි මව යන සිත එළව. බුහුන වැන්නවුන් කෙරෙහි බුහුන යන සිත එළව. දූ වැන්නවුන් කෙරෙහි දුව යන සිත එළව යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුතු කම්සැප අනුභව නො කළ විරූ මේ තරුණ භික්‍ෂූහු පිරිපුන් පිරිසිදු බඹසර යම් හෙයෙකින් දිවිහිමියෙන් වෙසෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
භවද් භාරද්වාජයෙනි, මේ සිත ලොල් ය. මවු වැන්නවුන් කෙරෙහි දු ඇතැම් දිනෙක ලෝබසිත් උපදී. බුහුන වැන්නවුන් කෙරෙහි දු ලෝබසිත් උපදී. දූ වැන්නවුන් කෙරෙහි දු ලෝබසිත් උපදී. භවත් භාරද්වාජයෙනි, තරුණ මන කළු කෙහෙ ඇති ... මේ තරුණ භික්‍ෂූහු යම් හෙයෙකින් බඹසර කෙරෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට අනෙක් හේතුවකුත් අනෙක් ප්‍රත්‍යයෙකුත් ඇද්දැ යි.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි. මහණෙනි, තෙපි එවු. පතුලෙන් උඩ කෙසගින් යට (අවටින්) සම කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ සිරුර ම පස්විකවු. (කෙසේ ද යත්:) මේ සිරුරෙහි කෙහෙ, ලොම්, නිය, දත්, සිවිය, මස, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හෘදයමාංසය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, පැසුණු අහර, පිත, සෙම, පූයා, ලේ, ඩහ, මේදස්, කඳුළු, වුරුණුතෙල, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍ර, ඇතැ යි කියා යි. මහරජ, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්‍ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගුකලක් නොසිඳ පවත්වත් නම් එයට මේ ද හේතුවෙකි, මේ ද ප්‍රත්‍යයෙකි.
භවත් භාරද්වාජයෙනි, වැඩූ කය (කායගතා සති) ඇති වැඩූ සිල් ඇති වැඩූ සිත් ඇති වැඩූ නුවණ ඇති යම් ඒ භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එය දුෂ්කර නො වේ. භවද් භාරද්වාජයෙනි, නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ නුවණැති යම් ඒ භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එය දුෂ්කර වේ. භවත් භාරද්වාජයෙනි, ඇතැම් දිනෙක අශුභවශයෙන් මෙනෙහි කරන්නෙමු යි ශුභවශයෙන් ද මෙනෙහි කිරීමට පැමිණේ. භවද් භාරද්වාජයෙනි, තරුණ මනාකළුකෙහෙ ඇති මේ තරුණ භික්‍ෂූහු ... යම් හෙයෙකින් බඹසර වෙසෙත් නම් දිගු කලක් නො සිඳ පවත්වත් නම් එයට අනෙක් හේතුවෙකුත් ප්‍රත්‍යයෙකුත් ඇද්දැ යි.
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී: මහණෙනි, තෙපි එවු. ඉඳුරන්හි වැසූ දොර ඇති ව වෙසෙවු. ඇසින් රූ දැක නහමක් නිමිති ගන්නෝ නහමක් අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නෝ වවු. යම් හෙයෙකින් චක්ඛුන්‍ද්‍රිය අසංවෘත ව වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. චක්ඛුන්‍ද්‍රිය රකිවු, චක්ඛුන්‍ද්‍රියේ සංවරයට පැමිණෙවු. කනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස පැහැස ...