1. 11. 3.
දුක්ඛසමුදය සූත්රය
106. මහණෙනි, දුකෙහි සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, දුකෙහි සමුදය කවරේ ද යත්:
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මේ දුකෙහි සමුදය යි. කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝ විඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මහණෙනි, මේ දුකේ සමුදය යි.
මහණෙනි, දුකෙහි අස්තඞ්ගමය කවරේ ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණහාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. භව නිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ - දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මේ දුකේ අස්තඞ්ගමය යි.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී ... කයත් නිසා … සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව උපදී. වේදනාව නිසා තණ්හාව උපදී. ඒ තණහාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භව නිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ - දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ දුකේ අස්තඞ්ගම ය යි.
1. 11. 4.
ලෝකසමුදය සූත්රය
107. මහණෙනි, ලෝකයේ සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ලෝකයේ සමුදය කවරේ ද යත්; ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.
මහණෙනි, ලෝකයේ අස්තඞ්ගමය කවරේ ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ අස්තඞ්ගමය යි.