1. 11. 2.
උපාදාය සූත්‍රය
105. මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා තමා තුළ සුවදුක් උපදී දැ යි.
වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. මැනවි, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. වහන්ස එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා තමා කෙරෙහි සුවදුක් උපදී. කන ඇති කල්හි කන නිසා තමා තුළ සුවදුක් උපදී. නැහැය ඇති කල්හි නැහැය නිසා තමා තුළ සුවදුක් උපදී. දිව ඇති කල්හි දිව නිසා තමා තුළ සුවදුක් උපදී. කය ඇති කල්හි කය නිසා තමා තුළ සුවදුක් උපදී. සිත ඇති කල්හි සිත නිසා තමා තුළ සුවදුක් උපදී.
මහණෙනි, ඒ කිමැයි හඟිවු ද, ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේදැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන තමා තුළ සුවදුක් උපදනේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ යි.
කන නිත්‍ය ද නො හොත් අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය … නැහැය නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍යය ... දිව නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය ... කය නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍ය ය ... සිත නිත්‍ය හෝ අනිත්‍ය දැ? යි. වහන්ස, අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේදැ? යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන තමා තුළ සුවදුක් උපදනේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ ය.
මහණෙනි, මෙසේ දක්නා ඇසූපිරූ තැන් ඇති අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැත්ම ගෙවිනි. බඹසර වැස නිමවන ලදි. කළයුතු දෑ කරන ලදි. මේ රහත් බව පිණිස (කළයුතු) අනෙකක් නැතැයි දැනගනී යි.
1. 11. 3.
දුක්ඛසමුදය සූත්‍රය
106. මහණෙනි, දුකෙහි සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, දුකෙහි සමුදය කවරේ ද යත්:
ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මේ දුකෙහි සමුදය යි. කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝ විඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වෙයි. වේදනාව නිසා තණ්හාව වෙයි. මහණෙනි, මේ දුකේ සමුදය යි.