1. 10. 9.
දුතිය නතුම්හාක සූත්රය
102. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි කිමෙක් තොපගේ නො වේ ද යත්:
මහණෙනි ඇස තොපගේ නො වෙයි. එහි වූ තෘෂ්ණාව දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි. එය දුරු කරවු (එහි තෘෂ්ණාව) එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස් පහස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ යි.
1. 10. 10.
උද්දක සූත්රය
103. මහණෙනි, රාමපුත්ර උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි:
“මාගේ මේ වචනය අසවු, මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නොදමන ලද තෘෂ්ණා සඞ්ඛ්යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි.
මහණෙනි, රාමපුත්ර උද්දක තෙමේ සියල්ල නො දත්තේ ම සියල්ල දත්තෙම් වෙමි යි ඒ මේ වචනය කිය යි. සියල්ල නොදිනුයේ ම සියල්ල දිනුයෙම් වෙමි යි කියයි. දුක්මුල නොසාරා දමන ලද්දේ ම දුක්මුල සාරා දමන ලද්දේ යයි කිය යි.
මහණෙනි මෙහි මහණ තෙමේ මැනැවින් කියන්නේ,
මාගේ මේ වචනය අස්වු. මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නො දමන ලද තෘෂ්ණා සඞ්ඛ්යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි කියන්නේ ය.
මහණෙනි මහණ තෙමේ කෙසේ නම් වේදගූ (සසරවට දැන සිටියේ) වේ ද යත්: මහණෙනි මහණ තෙමේ යම් හෙයකින් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් අස්තගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි මෙසේ මහණ තෙමේ වේදගූ නම් වෙයි.