1. 10. 10.
උද්දක සූත්‍රය
103. මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි:
“මාගේ මේ වචනය අසවු, මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නොදමන ලද තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි.
මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ සියල්ල නො දත්තේ ම සියල්ල දත්තෙම් වෙමි යි ඒ මේ වචනය කිය යි. සියල්ල නොදිනුයේ ම සියල්ල දිනුයෙම් වෙමි යි කියයි. දුක්මුල නොසාරා දමන ලද්දේ ම දුක්මුල සාරා දමන ලද්දේ යයි කිය යි.
මහණෙනි මෙහි මහණ තෙමේ මැනැවින් කියන්නේ,
මාගේ මේ වචනය අස්වු. මම ඒකාන්තයෙන් සියලු සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නො දමන ලද තෘෂ්ණා සඞ්ඛ්‍යාත දුක්ඛමූලය සාරා දමා සිටියෙම් වෙමි” යි කියන්නේ ය.
මහණෙනි මහණ තෙමේ කෙසේ නම් වේදගූ (සසරවට දැන සිටියේ) වේ ද යත්: මහණෙනි මහණ තෙමේ යම් හෙයකින් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් අස්තගමයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි මෙසේ මහණ තෙමේ වේදගූ නම් වෙයි.
මහණෙනි මහණ තෙමේ කෙසේ නම් සබ්බජී (සියල්ල දිනුයේ) වේ ද යත්: මහණෙනි මහණ තෙමේ යම් හෙයකින් සවැදෑරුම් ඵස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් අස්තගමයත් ආදීන යත් නිස්සරණයත් තතු සේ දැන උපාදානය නො කොට කෙලෙසුන්ගෙන් මිදුණේ වේ ද, මහණෙනි මහණ තෙමේ මෙසේ සබ්බජී නම් වෙයි.
මහණෙනි මහණ තෙමේ කෙසේ නම් නොසාර දැමූ ගඬ (දුක්) මුල සාරා දමන ලද්දේ වේ ද යත්: මහණෙනි “ගඬ” යයි මවුපියන්ගේ ලේඅශුචියෙන් උපන් බතින් හා කොමුයෙන් වැඩුණු අනිස බව හා ඉලීම් පිරිමැදීම් (කරතුදු) බිඳෙන වැනසෙන ස්වභාව ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයට නමෙකි. මහණෙනි “ගඬමුල” යයි මේ තෘෂ්ණාවට නමෙකි. මහණෙනි යම් කලෙක මහණහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වූවා උසුන් මුල් ඇත්තී හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී නැවත නො හටගන්නා බව කරන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වේ ද, මහණෙනි මෙසේ මහණහුගේ නොසාරා දැමූ ගඬමුල සාරාදමන ලද්දේ වෙයි.
මහණෙනි, රාමපුත්‍ර උද්දක තෙමේ මෙබඳු වචනයක් කියයි: “මාගේ මේ වචනය අසවු. මම ඒකාන්තයෙන් සසරවට දැන සිටියෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දිනුයෙම් වෙමි. සාරා නොදැමූ ගඬමුල සාරාදමා සිටියෙම් වෙමි.
මහණෙනි රාමපුත්‍ර උද්දක තෙමේ “වේදගූ” නොවූයේම වේදගූ වෙමි යි මේ වචනය කියයි. සබ්බජී නො වූයේ ම “සබ්බජී” වෙමි යි කිය යි. ගඬමුල නො සාරා දැමූයේ ම ගඬමුල සාරා දමා සිටියෙම් වෙමි යි කියයි.
මහණෙනි, මෙහි මහණ තෙමේ මැනවින් කියන්නේ: “මාගේ මේ වචනය අසවු. මම ඒකාන්තයෙන් වේදගූ (සසරවට දැන සිටියෙම්) වෙමි. ඒකාන්තයෙන් සබ්බජි (සියල්ල දිනුයෙම්) වෙමි. නො සාරා දැමූ ගඬමුල සාරා දමා සිටියෙම් වෙමි” යි කියන්නේ යි.
දසවැනි ජළවර්‍ගයි.
එහි සූත්‍රනාමාවලිය:
සඞ්ගය්හ සූත්‍ර දෙක ය, පරිහාන, පමාදවිහාරී, සංවර, සමාධි, පටිසල්ලාන යන සූත්‍ර පස ය, නතුම්හාක සූත්‍ර දෙක ය, උද්දක සූත්‍රය දෑ යි සූත්‍ර දශයෙකි.
දුතිය පණ්ණාසකය යි.
එහි වර්‍ගනාමාවලිය:
අවිජ්ජා, මිගජාල, ගිලාන යන වර්‍ග තුන ය, සිවුවැනි ඡන්න වර්‍ගය, ජළවර්‍ගය යන මෙයින් සූත්‍ර පනසෙකි. මේ දුතියපණ්ණාසකය යි.