1. 10. 5.
සංවර සූත්රය
98. මහණෙනි තොපට සංවරයත් අසංවරයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි ඉටු වූ කමනීය වූ මනවඩන ප්රියස්වභාවය ඇති කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇස්විනැණින් දතයුතු රූ ඇති. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි. මේ පරිහාන යයි භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දතයුතු ය.
මහණෙනි සෝතවිඤ්ඤාණයෙන් (කනවිනැණින්) දත යුතු සද ඇත … ඝාණවිඤ්ඤාණයෙන් (නැහැවිනැණැන්) දතයුතු ගඳ … ජිව්හාවිඤ්ඤාණයෙන් (දිව්විනැණින්) දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දත යුතු පහස් … මහණෙනි ඉටු කමනීය මනවඩන ප්රිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු මනෝවිඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටි නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් පිරිහෙමි. මෙය පරිහාන යයි භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ අසංවර වේ.
මහණෙනි කෙසේ නම් සංවරය වේ ද යත්: මහණෙනි ඉටු කමනීය මනවඩන ප්රියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇස්විනැණින් දතයුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා නම් ගුණ නො කියා නම් ගැලී නො සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් නො පිරිහෙමි. මෙය අපරිහාන යයි භාග්යවතුන් වහන්සේ විසින් වදාරනලදැ” යි මෙය දත යුතු ය.
මහණෙනි ශ්රෝත්රවිඥානයෙන් දතයුතු සද ඇත ....... ඝ්රාණවිඥානයෙන් (නැහැවිනැණින්) දත යුතු ගඳ … ජිහ්වාවිඥානයෙන් දත යුතු රස … කාවිනැණින් දත යුතු පහස් … මහණෙනි ඉටු කමනීය මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු මනවිනැණින් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා නම් ගුණ නො කියා නම් ගැලී නො සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් නො පිරිහෙමි. මේ අපරිහාන යයි භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ සංවර වේ යි.
1. 10. 6.
සමාධි සූත්රය
99. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී. කුමක් තතු සේ දනී ද යත්: ඇස අනිසැ යි තතු සේ දනී. රූ අනිසැ යි තතු සේ දනී. ඇස්විණැන අනිසැ යි තතු සේ දනී. ඇස්පහස අනිසැ යි තතු සේ දනී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී.
කන අනිසැ යි ... නැහැය අනිසැ යි ... දිව අනිසැ යි තතු සේ දනී. රස අනිසැ යි තතු සේ දනී. දිව්විනැණ අනිසැ යි තතු සේ දනී. දිව්පහස අනිසැයි තතු සේ දනී. දිව්පහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් හේ ද අනිසැ යි තතු සේ දනී.
කය අනිසැ යි ... සිත අනිසැ යි තතු සේ දනී, දහම් අනිසැ යි තතු සේ දනී. මනවිනැණ අනිසැයි තතු සේ දනී. මනපහස අනිසැ යි තතු සේ දනී. මනපහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් වේ නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී යි.