1. 10. 6.
සමාධි සූත්‍රය
99. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී. කුමක් තතු සේ දනී ද යත්: ඇස අනිසැ යි තතු සේ දනී. රූ අනිසැ යි තතු සේ දනී. ඇස්විණැන අනිසැ යි තතු සේ දනී. ඇස්පහස අනිසැ යි තතු සේ දනී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී.
කන අනිසැ යි ... නැහැය අනිසැ යි ... දිව අනිසැ යි තතු සේ දනී. රස අනිසැ යි තතු සේ දනී. දිව්විනැණ අනිසැ යි තතු සේ දනී. දිව්පහස අනිසැයි තතු සේ දනී. දිව්පහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් හේ ද අනිසැ යි තතු සේ දනී.
කය අනිසැ යි ... සිත අනිසැ යි තතු සේ දනී, දහම් අනිසැ යි තතු සේ දනී. මනවිනැණ අනිසැයි තතු සේ දනී. මනපහස අනිසැ යි තතු සේ දනී. මනපහසින් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් වේ නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. මහණෙනි සමාධිය වඩවු. මහණෙනි සමාධිගත මහණ තෙමේ තතු සේ දනී යි.
1. 10. 7.
පටිසල්ලාන සූත්‍රය
100. මහණෙනි කායවිවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි කායවිවේකයෙන් යුත් මහණ තෙමේ තතු සේ දනී. කුමක් තතු සේ දනී ද යත්:
ඇස අනිසැ යි තතු සේ දනී. රූ අනිසැ යි තතු සේ දනී. ඇස්විනැණ අනිසැ යි තතු සේ දනී. ඇස්පහස අනිසැ යි තතු සේ දනී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. කන … නැහැය ... දිව ... කය ... සිත ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ දනී. මහණෙනි කායවිවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි කායවිවේකයෙන් යුත් මහණ තෙමේ තතු සේ දනී යි.
1. 10. 8.
න තුම්හාක සූත්‍රය
101. මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි කිමෙක් තොපගේ නො වේ ද යත්: මහණෙනි ඇස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රූ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
ඇස්විනැණ තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්පහස තොපගේ නො වෙයි. එය දුරු කරවූ. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.
කන තොපගේ නො වෙයි … නැහැය තොපගේ නො වෙයි … දිව තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. රස තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය දුරු කරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය.