1. 10. 4.
පමාදවිහාරී සූත්‍රය
97. මහණෙනි, තොපට ප්‍රමාද විහරණ ඇත්තහු ද අප්‍රමාද විහරණ ඇත්තහු ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කෙසේ නම් ප්‍රමාද විහරණ ඇත්තේ වේ ද යත්: මහණෙනි චක්ඛුන්‍ද්‍රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ සිත චක්ඛුවිඥාණයෙන් දතයුතු රූපයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. කෙලෙසුන් ගෙන් තෙත් වූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය (දුර්‍වලප්‍රීතිය) නො වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නොවේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසෙයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි (සමථ විදර්‍ශනා) දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමා විහරණ ඇත්තේ ය යි ගැනීමට යේ.
මහණෙනි සෝතින්‍ද්‍රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ … මහණෙනි ඝානින්‍ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ජිව්හින්‍ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත ජිව්හාවිඤ්ඤාණයෙන් දතයුතු රසයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය නො වේ … මහණෙනි කායින්‍ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි මනින්‍ද්‍රියෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත මනෝවිඤ්ඤාණයෙන් දතයුතු දහම්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය නො වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමාවිහරණ ඇත්තේම ය යි ගිණීමට යේ. මහණෙනි මෙසේ පමාවිහරණ ඇත්තේ වේ.
මහණෙනි, කෙසේ නම් නො පමාවිහරණ ඇත්තේ වේ ද යත්: මහණෙනි චක්ඛුන්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ සිත චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු රූපයන්හි (කෙලෙසුන්ගෙන්) නො තෙත් කරනු ලැබේ. නො තෙත් කරනු ලැබූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වෙයි. සැහැල්ලු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟවෙයි. සිත එකඟ වූ කල්හි (සමථ විදර්‍ශනා) දහම් පහළ වේ. දහම් පහළවීමෙන් නොපමා විහරණ ඇත්තේ ම ය යි ගිණීමට යේ.
මහණෙනි, සෝතින්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ඝානින්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ජිව්හින්‍ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි කායින්‍ද්‍රියයෙහි සංවර සහිතව වෙසෙන්නාහු ගේ … මහණෙනි මනින්‍ද්‍රියයෙහි සංවර සහිතව වෙසෙන්නහුගේ සිත මනෝවිඤ්ඤාණයෙන් දතයුතු දහම්හි කෙලෙසුන්ගෙන් නො තෙත් කරනු ලැබේ. නො තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි දහම් පහළ වේ. දහම් පහළවීමෙන් නොපමා විහරණ ඇත්තේ ම යයි ගිණුමට යේ. මහණෙනි මෙසේ නොපමා විහරණ ඇත්තේ වෙ යි.
1. 10. 5.
සංවර සූත්‍රය
98. මහණෙනි තොපට සංවරයත් අසංවරයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාවය ඇති කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇස්විනැණින් දතයුතු රූ ඇති. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටී නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි. මේ පරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දතයුතු ය.
මහණෙනි සෝතවිඤ්ඤාණයෙන් (කනවිනැණින්) දත යුතු සද ඇත … ඝාණවිඤ්ඤාණයෙන් (නැහැවිනැණැන්) දතයුතු ගඳ … ජිව්හාවිඤ්ඤාණයෙන් (දිව්විනැණින්) දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දත යුතු පහස් … මහණෙනි ඉටු කමනීය මනවඩන ප්‍රිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු මනෝවිඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය පතා නම් ගුණ කියා නම් ගැලී සිටි නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල්දහමින් පිරිහෙමි. මෙය පරිහාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ අසංවර වේ.