1. 10. 3.
පරිහානධම්ම සූත්රය
96. මහණෙනි තොපට පරිහාන ධර්මයත්, අපරිහාන ධර්මයත් අභිභායතන සයත් දේශනා කරන්නෙමි. එය අසවු, මහණෙනි කෙසේ නම් පරිහානධර්මය වේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බන්ධනයට කරුණු වූ (ධාවන) සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) උපදිත්. ඉදින් මහණ තෙමේ එය ඉවසා නම් දුරු නො කෙරේ නම් , බැහැර නො කෙරේ නම්, කෙළවර නො කෙරේ නම්, නැවත නො හටගන්නා බවට නො පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි, මෙය පරිහාන ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය.
මහණෙනි නැවත අනෙකක් ද කියමි. කනින් ශබ්දයක් අසා මහණහට උපදිත් … මහණෙනි නැවත අනෙකක් ද කියමි. නැහැයෙන් ගන්ධයක් ආඝ්රාණය කොට මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි. දිවෙන් රසයක් විඳ මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි, කයින් පහසක් පැහැස මහණහට ... මහණෙනි නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) උපදිත්. ඉදින් මහණ තෙමේ එය ඉවසා නම්, දුරු නොකෙරේ නම්, බැහැර නො කෙරේ නම් කෙළවර නො කෙරේ නම් , නැවත නූපදනා බවට නො පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් පිරිහෙමි, මෙය පරිහාන ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ පරිහානධර්මය වේ.
මහණෙනි කෙසේ නම් අපරිහානධර්මය වේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවන සඞ්කල්පයෝ උපදිත්, ඉදින් මහණ තෙමේ එය නො ඉවසා නම්, දුරු කෙරේ නම්, බැහැර කෙරේ නම්, කෙළවර කෙරේ නම්, නැවත නො හටගන්නා බවට පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් නො පිරිහෙමි, මෙය අපරිහාන ය යි භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදැ” යි මෙය දත යුතු ය.
මහණෙනි නැවත අනෙකක් ද කියමි, කනින් ශබ්දයක් අසා මහණහට ... නැහැයෙන් ගන්ධයක් ආඝ්රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවන සඞ්කල්පයෝ උපදිත්. ඉදින් මහණ තෙමේ එය නො ඉවසා නම්, දුරු කෙරේ නම්, බැහැර කෙරේ නම්, කෙළවර කෙරේ නම්, නැවත නූපදනා බවට පමුණුවා නම්, මහණෙනි ඒ මහණහු විසින් “කුසල් දහමින් නො පිරිහෙමි. මෙය භාග්යවතුන් වහන්සේ විසින් අපරිහාන ය යි වදාරන ලදැ” යි මෙය දත යුතු ය. මහණෙනි මෙසේ අපරිහාන ධර්මය වේ.
මහණෙනි අභිභායතන සය කවරේ ද යත්: මහණෙනි මෙහි මහණහට ඇසින් රූපයක් දැක ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ සරසඞ්කල්පයෝ (වේගවත් සිතුවිලි) නූපදිත් නම් , මහණෙනි ඒ මහණහු විසින් “මේ ආයතනය වඩනා ලදී. භාග්යවතුන් වහන්සේ විසින් මෙය අභිභායතනයෙකැ යි වදාරන ලදැ” යි මෙය දත යුතු ය.
මහණෙනි නැවත අනෙකක් ද කියමි. කනින් ශබ්දයක් අසා මහණහට … නැහැයෙන් ගන්ධයක් ආඝ්රාණය කොට ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි. සිතින් දහමක් දැන මහණහට ලාමක වූ අකුසල් වූ බැඳුමට කරුණු වූ ධාවනසඞ්කල්පයෝ නූපදිත් නම්, මහණෙනි ඒ මහණහු විසින් “මේ ආයතනය වඩනා ලදී. භාග්යවතුන් වහන්සේ විසින් මෙය අභිභායතනයකැ යි වදාරන ලදැ” යි මෙය දතයුතු ය. මහණෙනි මේ අභිභායතන සය යයි කියනු ලැබේ යි.
1. 10. 4.
පමාදවිහාරී සූත්රය
97. මහණෙනි, තොපට ප්රමාද විහරණ ඇත්තහු ද අප්රමාද විහරණ ඇත්තහු ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කෙසේ නම් ප්රමාද විහරණ ඇත්තේ වේ ද යත්: මහණෙනි චක්ඛුන්ද්රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ සිත චක්ඛුවිඥාණයෙන් දතයුතු රූපයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. කෙලෙසුන් ගෙන් තෙත් වූ සිත් ඇති ඔහුට ප්රමෝදය (දුර්වලප්රීතිය) නො වේ. ප්රමෝදය නැති කල්හි ප්රීතිය නො වේ. ප්රීතිය නැති කල්හි පස්සද්ධිය නොවේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසෙයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි (සමථ විදර්ශනා) දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමා විහරණ ඇත්තේ ය යි ගැනීමට යේ.
මහණෙනි සෝතින්ද්රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ … මහණෙනි ඝානින්ද්රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ජිව්හින්ද්රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත ජිව්හාවිඤ්ඤාණයෙන් දතයුතු රසයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්රමෝදය නො වේ … මහණෙනි කායින්ද්රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි මනින්ද්රියෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත මනෝවිඤ්ඤාණයෙන් දතයුතු දහම්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්රමෝදය නො වේ. ප්රමෝදය නැති කල්හි ප්රීතිය නො වේ. ප්රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමාවිහරණ ඇත්තේම ය යි ගිණීමට යේ. මහණෙනි මෙසේ පමාවිහරණ ඇත්තේ වේ.