1. 10. 2.
මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රය
95. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා යි.
මාලුඞ්ක්‍යපුත්ත, දිරාගිය වැඩිසිටි මහලු වූ තුන් කල් ගත වූ පිළිවෙළින් පැසුට වියට පැමිණි මහණකු වූ යම්බඳු තෙපි සැකෙවින් අවවාද යදින්නහු නම් මෙහි ලා දැන් තරුණ භික්‍ෂූන්ට කුමක් කියන්නෙම් දැ යි. වහන්ස, මම දිරූයෙම් වැඩීසිටියෙම් මහලු වූ යෙම් තුන්කල් ගත වූයෙම් පිළිවෙළින් පැසුළු වයසට පැමිණියෙම් නමුදු, වහන්ස භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි අරුත් දැනගන්නෙම් නම් මැනවි. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට හිමිකරුවෙක් වන්නෙම් නම් මැනව යි.
මාලුඞ්ක්‍යපුත්ත, ඒ කිමැයි හඟිවු ද, චක්ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ නුදුටු නුදුටුවිරූ යම් ඒ රූපයෝ වෙද්ද, (ඔවුන්) නො ද දකිවු නම් ඔවුන් දකින්නෙමි යි. තොපට නො ද සිතෙක් වේ නම් තොපට එහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය.
නො ඇසු නො ඇසුවිරූ සෝතවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ ශබ්දයෝ වෙද්ද (ඔවුන්) නො ද අසවු නම් අසන්නට තොපට සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැයි. වහන්ස මෙය නො වේ ම ය. ආඝ්‍රාණය නොකළ ආඝ්‍රාණය නොකළ විරූ යම් ඒ ගන්‍ධයෝ වෙද්ද, (ඔවුන්) නො ද ආඝ්‍රාණය කරවු නම් ආඝ්‍රාණය කරන්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය.
ආස්වාදනය නොකළ ආස්වාදනය නොකළවිරූ ජිව්හාවිඤ්ඤාණයෙන් දත යුතු යම් ඒ රසයෝ වෙද්ද, (ඔවුන්) නො ද ආස්වාදනය කරවු නම් ආස්වාදනය කරන්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය. නොපැහැසි නොපැහැසිවිරූ කායවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ පහස්හු වෙත් නම් ඔවුන් නො ද පුසින්නහු නම් පුසින්නෙමි යි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. නොදත් නොදත්විරූ මනෝවිඤ්ඤාණයෙන් දතයුතු යම් ඒ දහම්හු වෙද්ද, (ඔවුන්) නො ද දන්නහු නම් දැනගන්නෙමියි සිතෙක් නො ද වේ නම් එහි තොපට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ ඇද්දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
මාලුඞ්ක්‍යපුත්ත, මෙහි තොපට දුටු ඇසූ ගත් දතයුතු දහම් අතුරෙන් දක්නා ලද්දෙහි දුටු පමණෙක් වන්නේ ය. අසන ලද්දෙහි ඇසූ පමණෙක් වන්නේ ය. ගන්නා ලද්දෙහි ගත්පමණෙක් වන්නේ ය. දන්නා ලද්දෙහි දත්පමණෙක් වන්නේ ය. මාලුඞ්ක්‍යපුත්ත , යම් කලෙක තොපට දුටු ඇසූ ගත් දතයුතු දහම් අතුරෙන් දක්නා ලද්දෙහි දුටු පමණෙක් වන්නේ ද, අසන ලද්දෙහි ඇසූ පමණෙක් වන්නේ ද, ගන්නා ලද්දෙහි ගත්පමණෙක් වන්නේ ද,දන්නා ලද්දෙහි දත්පමණෙක් වන්නේ ද, මාලුඞ්ක්‍යපුත්ත එකල්හි තෙපි එයින් (රාගරත්තයෙක් දෝසදූසිතයෙක් මොහමූළ්හයෙක්) නොවන්නහු ය. යම්කලෙක තෙපි එයින් (රාගරත්තාදියෙක්) නොවන්නාහු නම් මාලුඞ්ක්‍යපුත්ත, එකල්හි තෙපි එහි නොපිහිටි වන්නහු ය. මාලුඞ්ක්‍යපුත්ත යම් කලෙක තෙපි එහි නොපිහිටි වන්නහු නම් මාලුඞ්ක්‍යපුත්ත එකල්හි තෙපි මෙලොවත් නොවන්හු ය. පරලොවත් නොවන්නහු ය. දෙලොව ම නොවන්නහු ය. මෙය ම දුකේ කෙළවර යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දනිමි.
රූපය දැක ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි.ඔහුට රූපය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
ශබ්දය අසා ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට ශබ්දය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්, දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.
ගන්‍ධය ආඝ්‍රාණය කොට ප්‍රිය අරමුණෙකැ යි මෙනෙහි කරන්නහුගේ සිහිය නටුයේ වෙසෙසින් ඇලුණු සිත් ඇත්තේ විඳියි. එය ගිලගෙන ද සිටියි. ඔහුට ගන්‍ධය නිසා හටගන්නා නොයෙක් වේදනාවෝ වැඩෙත්. දැඩිලෝභය ද වෙහෙස ද වැඩෙත්. නොහොත් දැඩිලෝභයෙන් හා වෙහෙසින් ඔහුගේ සිත පෙළෙයි. මෙසේ දුක් රැස්කරන්නහුට නිවන ඈත යයි කියනු ලැබේ.