1. 1. 12.
දුතිය බාහිරානත්ත සූත්රය
12. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූප අනත් ය. පවත්නා රූපයෙහි කවර කථා ද, මහණෙනි, මෙසේ දක්නා බහුශ්රුත අරීසවු ඉකුත් රූපයෙහි නිරපේක්ෂ වෙයි. නො පැමිණි රූප නො පතයි. පවත්නා රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. සද … ගඳ … රස … පහස් ... අතීත අනාගත දහම් අනත් ය. පවත්නා දහම් පිළිබඳ ව කවර කථාවෙක් ද, මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු ඉකුත් දහම්හි නිරපේක්ෂ වෙයි. නො පැමිණි දහම් නො පතයි. පවත්නා දහම්හි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
පළමුවැනි අනිච්චවර්ග යි.
එහි උද්දානය:
අනිච්ච යැ දුක්ඛ යැ අනත්ත යැ යි සූත්රයෝ තුන් දෙනෙකි. ඔහු අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිත්. ‘යදනිච්ච’ ශබ්දයෙන් වෙන් කොට කියූ සූත්රයෝ ද තුන්දෙනෙකි. ඔහු ද අජ්ඣත්තබාහිර-වශයෙන් සිටිති (අජ්ඣත්තබාහිර-භේදයෙන් දොළොස් දෙනෙකි.)
2. යමක වර්ගය
1. 2. 1.
සම්බොධ සූත්රය
13. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර මැ සම්බුදු නො වූ බෝසත් වූ මැ මට මෙබඳු සිතෙක් වි ය: ඇසෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් ද, කනෙහි ආස්වාදය කිමෙක් ද, … නැහැයෙහි ආස්වාදය කිමෙක් ද, … දිවෙහි ආස්වාදය කිමෙක් ද, … කයෙහි ආස්වාදය කිමෙක් ද, … සිතෙහි ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
මහණෙනි, මට මෙබඳු සිතෙක් විය: ඇස නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ඇසේ ආස්වාද යි. යම් ඇසෙක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ ඇසේ ආදීනව යි. ඇසෙහි යම් ඡන්දරාගය දුරුකිරීමෙක් ඡන්දරාග ප්රහාණයෙක් වේ නම් මේ ඇසේ නිස්සරණ යි. කන නිසා යම් … නැහැය නිසා යම් … දිව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ දිවේ ආස්වාද යි. යම් දිවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ දිවේ ආදීනව යි. දිවේ යම් ඡන්දරාගය දුරැලීමෙක් ඡන්දරාග ප්රහාණයෙක් වේ නම් මේ දිවේ නිස්සරණ යි. කය නිසා යම් … සිත නිසා යම් සුවයෙක් සොම්නසෙක් වේ නම් මේ සිතේ ආස්වාද යි. යම් සිතක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ සිතේ ආදීනව යි. සිතේ යම් ඡන්දරාගය දුරැලීමෙක් ඡන්දරාග ප්රහාණයෙක් වේ නම් මේ සිතේ නිස්සරණ යි.
මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම් අධ්යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතුසේ නො දත්තෙම් නම් මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්රජාවෙහි නිරුත්තර වූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි නො ම පිළින කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වසයෙනුත් මෙසේ තතු සේ අවබෝධ කෙළෙම් නම් මහණෙනි, මම එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්රජාවෙහි නිරුත්තර වූ සම්යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි පිළින කෙළෙමි. මට ඥානදර්ශනය පහළ විය. මාගේ අර්හත්ඵලසමාධිය අකෝප්ය ය. මේ අන්තිම ජාතිය යි. දැන් නැවත ඉපදීමෙක් නැතැ යි.