7. 1. 9.
නිරෝධ සමාපත්ති සූත්‍රය
340. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹියහ. අන්‍ධවනයට වැදගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහරණයට හුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම වෙත එළඹියහ.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දීම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඇවැත්නි, මෙහි මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසෙමි. ඇවැත්නි, ඒ මට “මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදිමි යි හෝ, මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්මි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නොවේ”.
‘එ එසේ මැ’යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාරමමිඞ්කාරමානනුසයයෝ මොනවට නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිමි යි හෝ මම සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්මි යි හෝ, මම සඤ්ඤාවේදයිත නිරෝධයෙන් නැඟී සිටියෙමි යි හෝ මෙ බඳු සිතෙක් නො වේ.
7. 1. 10.
සූචිමුඛී සූත්‍රය
341. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්තිමුලක් ඇසුරු කොට වළදිති. එකල්හි සූචිමුඛී නම් වූ පරිව්‍රාජිකාව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කිවූ ය: “මහණ, කිමෙක් ද? යටිමුව ව වළඳහි දැ”යි.
නැඟැණියනි, මම යටිමුව ව නො ම වළඳමි යි.
“මහණ, එසේ නම් උඩුමුව ව වළඳහි දැ”යි
“නැඟැණියනි, මම උඩුමුව ව නො ම වළඳමි”.
මහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි. නැගැණියනි, මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි යි.
මහණ, එසේ නම් සිවුඅනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි.
නැඟැණියනි, මම සිවුඅනුදිගටලූ මුව ඇතිව නො ම වළඳමි යි.
මහණ, කිමෙක්ද? යටිමුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම යටිමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් උඩු මුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම උඩුමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවු අනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවු අනුදිගට ලූ මුව ඇති ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් දැන් කෙසේ වළඳහි දැ යි.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් වාස්තුවිද්‍යා නම් තිරශ්චීන විද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ යටිමුව ව වළඳති යි කියනු ලැබෙති.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ උඩුමුව ව වළඳති යි කියනු ලැබෙති.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් (වූ) මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
නැඟැණියනි, යම්කිසි මහණබමුණු කෙනෙක් අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුඅනුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
නැඟැණියනි, ඒ මම වාස්තුවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. දැහැමින් භික්‍ෂාව සොයමි. දැහැමින් භික්‍ෂාව සොයා වළඳමි යි.