7. 1. 10.
සූචිමුඛී සූත්‍රය
341. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්තිමුලක් ඇසුරු කොට වළදිති. එකල්හි සූචිමුඛී නම් වූ පරිව්‍රාජිකාව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කිවූ ය: “මහණ, කිමෙක් ද? යටිමුව ව වළඳහි දැ”යි.
නැඟැණියනි, මම යටිමුව ව නො ම වළඳමි යි.
“මහණ, එසේ නම් උඩුමුව ව වළඳහි දැ”යි
“නැඟැණියනි, මම උඩුමුව ව නො ම වළඳමි”.
මහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි. නැගැණියනි, මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි යි.
මහණ, එසේ නම් සිවුඅනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි.
නැඟැණියනි, මම සිවුඅනුදිගටලූ මුව ඇතිව නො ම වළඳමි යි.
මහණ, කිමෙක්ද? යටිමුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම යටිමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් උඩු මුව ව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම උඩුමුව ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවුදිගට ලූ මුව ඇතිව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් සිවු අනුදිගට ලූ මුව ඇතිව වළඳහි දැ යි මෙසේ පුළුවුස්නා ලද්දේ නැඟැණියනි, “මම සිවු අනුදිගට ලූ මුව ඇති ව නො ම වළඳමි” යි කියහි. මහණ, එසේ නම් දැන් කෙසේ වළඳහි දැ යි.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් වාස්තුවිද්‍යා නම් තිරශ්චීන විද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ යටිමුව ව වළඳති යි කියනු ලැබෙති.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ උඩුමුව ව වළඳති යි කියනු ලැබෙති.
නැඟැණියනි, යම් කිසි මහණබමුණු කෙනෙක් පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් (වූ) මිත්‍යාජීවනෝපායයෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
නැඟැණියනි, යම්කිසි මහණබමුණු කෙනෙක් අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව කෙරෙත් නම් නැඟැණියනි, මේ මහණබමුණෝ සිවුඅනුදිගට ලූ මුව ඇති ව වළඳති යි කියනු ලැබෙත්.
නැඟැණියනි, ඒ මම වාස්තුවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. නක්‍ෂත්‍රවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. පහිනිපත් ගෙන යාමෙහි යෙදීමෙන් වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. අංගවිද්‍යා නම් තිරශ්චීනවිද්‍යාව වූ මිත්‍යාජීවනෝපායෙන් ජීවිකාව නො කරමි. දැහැමින් භික්‍ෂාව සොයමි. දැහැමින් භික්‍ෂාව සොයා වළඳමි යි.