1. සාරිපුත්ත වර්‍ගය
7. 1. 1.
විවේකජ සූත්‍රය
332. සැවැත්නුවර:
එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹියහ. අන්‍ධවනයට වැදගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස වැඩහුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම වෙත එළඹියහ.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී ම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, මුඹ වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඇවැත්නි, මෙහි මම කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට එළැඹ වෙසෙමි. ඇවැත්නි, ඒ මට “මම ප්‍රථමධ්‍යානයට සමවදිමි යි හෝ මම ප්‍රථම ධ්‍යානයට සමවන්මි යි හෝ මම ප්‍රථමධ්‍යානයෙන් නැගී සිටියෙමි”යි හෝ මෙබඳු සිතෙක් නොවේ.
එ එසේ මැ යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාර මමිඞ්කාර මානානුසයයෝ මොනවට නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “මම ප්‍රථම ධ්‍යානයට සමවදිමි යි හෝ මම ප්‍රථමධ්‍යානයට සමවන්මි යි හෝ මම ප්‍රථමධ්‍යානයෙන් නැගී සිටියෙමි” යි හෝ මේ බඳු සිතෙක් නො වේ.
7. 1. 2.
අවිතක්ක සූත්‍රය
333. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ එන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී ම දුටහ. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹ වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ” යි.
ඇවැත්නි, මෙහි මම විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි.
ඇවැත්නි, ඒ මට “මම ද්විතීයධ්‍යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්‍යානයට සමවන්මි”යි හෝ “මම ද්විතීයධ්‍යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වෙයි.
එ එසේ මැ යි, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් විසින් දීර්‍ඝ රාත්‍රියෙහි අභිඞ්කාර මමිඞ්කාරමානනුසයයෝ මැනවින් නසන ලදහ. එහෙයින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට: “මම ද්විතීයධ්‍යානයට සමවදිමි”යි හෝ “මම ද්විතීයධ්‍යානයෙන් නැඟී සිටියෙම් වෙමි”යි හෝ මෙබඳු සිතෙක් නො වේ.
7. 1. 3.
පීති සූත්‍රය
334. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුබවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු යැ, පැහැපත් යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ යි.
ඇවැත්නි, මෙහි මම ප්‍රීතියෙහි ද නො ඇල්මෙන් උපේක්‍ෂා ඇත්තෙම් ද වෙසෙමි. සිහි ඇත්තෙම් ද මනා නුවණ ඇත්තෙම් ද කයින් සුවත් විඳිමි. ආර්‍ය්‍යයෝ “උපේක්‍ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුවවිහරණ ඇත්තේ”යයි ඒ යමකට කියත් නම් ඒ තෘතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි ... නැඟී සිටියෙම් වෙමි”යි හෝ යි.
7. 1. 4.
උපෙක්ඛා සූත්‍රය
335. සැවැත්නුවර:
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ දුටහ ... ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මුඹවහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුඛවර්‍ණය පිරිසිදු ය, පැහැපත් ය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අද කිනම් විහරණයෙකින් යුතු වැ වුසූහු දැ”යි.